රෝදය ......

Posted by තිවංක | | Posted On Monday, October 25, 2010 at 10:32 PM

දවස නිමවී කාර්යාලයෙන් නිවෙස බල යාමට සැරසුනද, බයිසිකලයේ ඉදිරිපස රෝදයේ හුලං නැත. හ්ම්ම් ... දැන් ඉතින් මොනවා කරන්නද? ටයර් කඩයක් හොයන එක එච්චර ලේසි නැතිවුනත් බයිසිකලය තල්ලු කරගෙනම ටික දුරක් අවිද ගියෙමි .

"මේ හරියේ ටයර් කඩයක් තියනවද ?"

නවතා තිබූ තුන් රෝද රථයක් අසලට ගිය මම, මාගේ හඬ අවදි කළේය. අප ඔවුන්ගේ වාහන පැදවීම ගැන කෙතරම් දොස් කීවද, පාරක් දැනගැනීමටත් , යම්කිසි ස්ථානයක් දැනගැනීමටත් නිතැතින් තුන් රෝද රථයක් වෙත පිය නැගීම කෙතරම් දෛවෝපගතද ?

"එහා හන්දියේ තියනවා."

ඔහු මට ඈත තිබෙන කඩයක් පෙන්විය. එම වදන් මට මහත් අස්වැසිල්ලක් විය.ඔහුට ස්තූති කළ මම නැවත ගමන ඇරඹීමි. තරමක කඩයක් බලාපොරොත්තු වූ මම නතර වූයේ ගෙවල් පේලියක එක් නිවසක් ඉදිරිපසය. ටයර් කඩය වූයේ ඔවුන්ගේ නිවසේ ඉස්තොප්පුවය. ඉතා කුඩා නිවසක් වූ එහි එදා වේල පිරිමහගන්නේ මේ කුඩා ටයර් කඩයෙනි. කඩහිමියා කඩිනමින් දෝෂය සොයා එය කඩය තුලට දී තවත් රෝදයක් ගලවන්නට විය. එහි ඉතිරි පිළියම් සිදු කරන්නේ ඔහුගේ බිරිඳය.

"මම පන්සලට ගිහින් එන්නම්."

තම කාර්යය අවසන් කළ ඇය සැමියා ඇමතීය.

"ඇයි ඒ ? අජිත් කියපු කාරණාවට ද ?"

සැමියා නෝක්කාඩුවට මෙන් ඇසීය.

"ඔය රැස්වීම් වලට යන්න ඕන නෑ. මෙන්න මේ තියන වැඩක් බලාගෙන ඉන්න."

එවර හඬ අණදීමකි.

"නොගිහින් හිටිය වගේ නෙවෙයි. අන්තිමට ඉන්න තැනත් නැති වේවි."

ඉතා කුඩා ගෙවල් පේලියක තවත් එක් කුඩා නිවසක් වූ එහි අයිතිය රැක ගැනීමට ඇය පිටත් වූ අතර සැමියා එදාවේල රැක ගැනීමට තවත් රෝදයක් පිළිසකර කිරීම ඇරඹීය.

ඔබ සිටිනා තැන ....

Posted by තිවංක | | Posted On Thursday, October 21, 2010 at 10:08 AM

දැනුම, හැකියාවන්,දක්ෂතාවයන් සහ පලපුරුද්ද ඵලදායී ලෙස යොදාගැනීමටත් එයින් මානසික තෘප්තියක් ළඟාකරගැනීමටත් හැකි වන්නේ ඔබ සිටිනා තැන නිවැරදි නම් පමණක්යැයි කියමනක් මා අසා ඇත.

මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකම

Posted by තිවංක | | Posted On Monday, October 18, 2010 at 3:01 PM

ඕනෑම රටක මාර්ග නීති පද්දතියක් පිහිටුවාගෙන තියනවා. එහි අවශ්‍යතාවය අවිවාදාත්මකයි. ඈත අතීතයේ නොතිබුනත්, රථ වාහන පැමිණීමත් සමඟ මාර්ග නීති පද්දතියේ අවශ්‍යතාවය අපිට තදින්ම දැනෙනවා.

මේ මාර්ග නීති මොනතරම් නම් තර්කානුකූලද කියල ටිකක් කල්පනා කරලා බලනකොට ඕනෑම කෙනෙක්ට වැටහෙනව.

දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න

පොඩිකාලේ අපිට පාසලේදී මෙහෙම උගන්වන්නේ, අපේ ආරක්ෂාවත් රියදුරන්ගේ පහසුවත් රැකගෙන පාර මාරු වෙනයි. පදිකයන් භාවිතා කල යුත්තේ පාරේ දකුණු පසත්, රථවාහන භාවිතා කල යුත්තේ පාරේ වම් පසත් යන්න තුල, පදිකයා හා රියැදුරා කෙතරම් නම් සුරක්ෂිතද ?

නමුත් මේවා දැන් ඉන්න ළමා පරපුර පිළිපදිනවද කියන එකත් ප්‍රශ්නයක්. ළමා පරපුරට ආදර්ශයක් වීමට අඩුම තරමින් වැඩිහිටි පරපුර වත් මාර්ග නීති පිළිපැදිය යුතුයි. කෙතරම් පදික මාරු තිබුනත්, මින්ස්සු තමන්ට හිතෙන හිතෙන තැන් වලින් පාර මාරු වෙනවා. හොඳම උදාහරණය බොරැල්ල මංසන්දියේ ඇති උමං පදික මාරුව. විශාල මුදලක් වියදම් කරලා පදිකයන්ගේ ආරක්ෂාවත්, රියදුරන්ගේ පහසුවත් තකා ඉදිකරලා තියන මේ උමං මාර්ගය භාවිතා නොකර, සමහර මිනිස්සු ප්‍රධාන මාර්ගයෙන්ම පාර මාරු වෙනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතුව පදිකයන් විදියට පාරේ ගමන් කරලා අන්තිමට අනතුරක් වුනාම ගොඩක් වෙලාවට එකේ වරද පැටවෙන්නේ වාහනයක රියදුරාට. අනිත් අතට සමහර රියදුරන් පදික මරුවකදීවත් තමන්ගේ වාහනයේ ධාවන වේගය අඩු කරන්නවත්, නවත්වන්නවත් අකමැතියි . ලඟදි දවසක පදික මාරුවකින් මාරුවෙන පදිකයන් පිරිසකට, මොටර් රථයක් ධාවනය කරගෙන ආපු නෝනා කෙනෙක් එයාගේ ගමන මදකට නවත්වල පදිකයන්ට පාර මාරු වෙන්න ඉඩ දෙන්න වුනා කියල අත දික්කරලා පදිකයන්ට බනිනවා මම දැක්ක. තමන්ගේ අයිතිය පාවිච්චි කරන්නවත් පදිකයන්ට නිදහස නැති හැටි. අනෙක් මිනීසෙකුට ගරු කිරීමට බැරි සමාජයක් බිහිවෙන අපූරුව.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ලිඛිත පරීක්ෂණයක් දැන් පවත්වනවා. එහිදී පුළුල් ලෙස, රියදුරෙක් පදිකයන් ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන කාරණය සලකා බැලෙනවා. නමුත් බොහෝ දෙනා මාර්ග නීති ගැන උනන්දු වෙන්නේ රියදුරු බලපත්‍රය ලබගන්න තෙක් පමණයි. ඊටපස්සේ තමන් පමණක් පාරේ යන්නේ කියන මානසිකත්වයෙන්ම පාරේ යනවා. දැන් තියන රියදුරු පුහුණු ආයතනත් මේ තත්වයට සැහෙන්න වග කියන්න ඕන. සල්ලි අරගෙන කෙසේ හෝ රිය බලපත්‍රය ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා. එක අතකට, මුදල් පසුපස හඹායන ලෝකයක මනුස්සකම මුදලට යටවීම පුදුමයකුත් නෙවෙයි .

පිවිසුම.........

Posted by තිවංක | | Posted On Wednesday, October 6, 2010 at 2:56 PM

ජීවිතේ බොහෝ අවස්ථාවල හිතට දැනෙන දේවල් ලියන්න මගේම කියල බ්ලොග් එකක් තිබුන නම් කොච්චර හොඳයි ද කියල හිතුන වාර අනන්තයි. සමහර වෙලාවට හිතෙන දේවල් ලියන්න දින පොතේ ඉඩ මදි වෙනවා. එත්.... මොකක්හරි හේතුවකින් ඒක කල් ගියා. කොහොමහරි අන්තිමේදී අත්හදා බැලීමක් විදියට මට බ්ලොග් එකක් හදන්න සිද්ද වුනා. අත්හදා බැලීමත් සාර්ථකයි. අන්තිමට මම මගේම බ්ලොග් එකක් පටන් ගත්ත.