ගහ මොට නම්

Posted by තිවංක | | Posted On Monday, March 18, 2013 at 4:54 PM

"අනේ ප්ලීස්. ඔයාට පුලුවන් ද මට හෙල්ප් කරන්න ?"

නිවාසාන්තර ක්‍රීඩා තරඟ පවත්වන දිනයේදී පිට්ටනිය කෙළවරක සිටි තමන්ගේ එක වසර පන්තියේ ගුරුතුමියගෙන් ඒ පුංචි දරුවාට එසේ අසන්නට සිදු වූයේ නොසිතූ වෙලාවක තම හැඳිවතෙහිම මළ පහ වූ නිසා ය. තම සිඟිති දියණියට වඩා මඳක් වයසින් වැඩි කුඩා දරුවා ගේ ආයාචනයෙන් ගුරුතුමියගේ සිත සසල විය. කුඩා දරුවා වැසිකිලිය වෙත රැගෙන ගිය ද මළ පහ තනිව සෝදා ගැනීමට කුඩා දරුවාට නොහැකි බව පවසූයෙන් ඒ කටයුත්ත කරන්නට සිදු වූයේද ගුරුතුමියට ය.

"පොඩි කාලෙම තමන්ගේ දේවල් කරගන්න දරුවන්ට පුරුදු කරන්න ඕන. නැත්නම් ඒගොල්ලොම තමයි පස්සේ අමාරුවේ වැටෙන්නේ"
         
පසු දිනක එම දරුවාගේ මව හමුවූ මොහොතකදී , ඇය සමඟ මෙම සිද්ධිය කතිකා කිරීමට අවස්ථාවක් ගුරුතුමියට ලැබී තිබුණි.

"ළමයගේ තාත්තටත් තනියම ෂර්ට් එක ඇඳගන්න බෑ. ෂර්ට් එක අඳින්නත් මම අත්දෙක දාන්න උදවු කරන්න ඕන. ළමයින්ගේ දේවල් වලට කිසි උදව්වක් නෑ. ඉතින් මම ළමයට තමන්ගේ දේවල් කරගන්න උගන්නන්නේ කොහොමද මිස්."      
         
ඉතා අසරණ ලෙස ඇය දුන් පිළිතුරත් සමඟ ගුරුතුමිය මොහොතකට ගොළු වූයේ දීමට පිළිතුරක් සොයාගත නොහැකි නිසාය.

ගහේ කටු උල් කරන්න ඕන නෑ..... ගහ මොට නම්...................................