රෝද දෙකත්, ජීවිතයත් සමබරව

Posted by තිවංක | | Posted On Friday, March 25, 2011 at 2:17 PM

මා යතුරු පැදිය පැදවූයේ සාමාන්‍ය වේගයෙන්. පිටුපසින් පැමිණි තවත් යතුරු පැදියක් අධික වේගයෙන් මා පසු කර ඉදිරියෙන් ධාවනය කල බස් රථයද ඉස්සර කලේ තරමක් ලොකු වංගුවකදී ය.

මේ යන විදිය ආරක්ෂාකාරීද ? ඉස්සරහින් වාහනයක් ආව නම් මොකද වෙන්නේ ?
මට දහසකුත් එකක් ප්‍රශ්න.

ඕව මේවා හිත හිත මමත් මගේ ගමන ගියා. මට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. පාර අයිනේ සැහෙන්න පිරිසක් වට වෙලා හිටිය. කලින් අනාරක්ෂිතව යතුරුපැදිය පදවපු කෙනා වෙනත් වාහනයක වැදිලා. යතුරුපැදිය පෙරලිලා. පදවපු මනුස්සයත් වැටිලා. ඉක්මනින්ම යන්න ගිය ගමන කොහෙන් කෙලවර වෙයිද මන්දා.

යතුරුපැදිය කියන්නේ (මා ඇතුළුව) අපි බොහෝ දෙනෙක් ට ගමන් පහසුව සලසන වාහනයක්. ඉහල යන ඉන්ධන වියදමත්, හැම හෝල්ට් එකේම විනාඩි 5 ක් විතර පැලවෙන බස් ගැනත් හිතෙනකොට යතුරු පැදිය කියන්නේ සැහෙන්න හොඳ විකල්පයක්. නමුත් යතුරුපැදිය ආරක්ෂාකාරීව පාවිච්චි කරන්නේ කීයෙන් කීදෙනාද කියල විනාඩි 5 ක් විතර පාර අයිනට වෙලා බලාගෙන හිටියොත් ඕන කෙනෙක්ට අත්දකින්න පුළුවන්. ඉවසීම කියන එක ඇත්තෙම නෑ. පුළුවන් ද බැරි ද බලන්නේ නැතුව හැම තැනින්ම රිංගන්න යනවා. පරිස්සම් තැන් වලින් රිංගන්න එපා කියල මම කියන්නේ නෑ (මොකද මමත් යතුරුපැදියට යන්න ඉඩ තියනවා නම් කරන්නෙත් ඒ දේමයි. ).

රෝද දෙකේ වාහනේ සමබර කරගෙන ඒක උඩ යන ජීවිතත් පරිස්සම් කරගෙන යන්න බොහෝ දෙනා මීට වඩා හිතනවා නම් තමන් විතරක් නෙවෙයි අනිත් වාහනවල අයත් අමාරුවේ නොවැටී ගමනාන්තයට ලඟා වෙන්න පුළුවන්.

ඔරු තරඟය

Posted by තිවංක | | Posted On Wednesday, March 9, 2011 at 1:47 PM

බොහොම ඉස්සර කාලේ ලංකාවයි ජපානෙයි අතරේ ඔරු තරඟයක් තිබුණා. කණ්ඩායම් දෙකෙන්ම හත් දෙනා බැගින් තරඟෙට සුදානම්. ජපානේ කණ්ඩායමේ හය දෙනෙක් ඔරුව පදවන්න යොදවල තිබුණා. එක් අයෙක් කණ්ඩායමේ නායකයා විදියට අනෙක් හය දෙනා මෙහෙයවීමට සැලසුම් කරලා තිබුණා. ලංකාවේ කණ්ඩායමේත් හත් දෙනෙක් හිටියට පොඩි වෙනසක් තිබුණා. ඔරුව පදවන්න කණ්ඩායමෙන් කෙනෙක් යොදවල තියන අතරේ අනෙක් හයදෙනා ඔහුට නායකත්වය දෙන්න සැදී පැහැදී හිටිය.

තරඟය ආරම්භ කළා. ඉහල කළමනාකරුවන් හයදෙනාගෙන් ඔරුව පදවන්නාට මනා උපදෙස් ලැබුණා. එදා දවසේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් එකකින් පරාද වුණා.

මේ පරාජය පිළිඹඳ හේතු හොයන්න කමිටුවක් පත් කළා. ඔරුව පදවපු කෙනාගේ උනන්දුව මදිකම පරාජයට හේතුව බව කමිටුවේ ඒකමතික තීරණය වුණා. කමිටුවේ විද්වත් මණ්ඩලය ඔහුට දැඩි සේ අවවාද කළා.

තරඟය ඊලඟ අවුරුද්දෙදිත් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අනුව කණ්ඩායම් දෙකම මැනවින් පුහුණුවීම් කළා. මේ වසරේ, ජපානේ කණ්ඩායම් සැලැස්මේ වෙනසක් නොවුනත්, ලංකාවේ කණ්ඩායමේ පොඩි වෙනසක් කරන්න කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කරලා තිබුණා. ඒ අනුව, එක් අයෙක් ඔරුව පැදවීමටත්, දෙදෙනෙක් ඔහුට උපදෙස් දීමටත්, තවත් දෙදෙනෙක් එම උපදේශකයන් දෙදෙනා කළමනාකරණය කිරීමටත්, ඉතිරි දෙදෙනා මුළු කණ්ඩායමේ නායකත්වයටත් පත් කරලා කණ්ඩායම සුදානම් කළා. කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ඔරුව පදවන්නාට ලැබෙන උපදෙස් සංවිධානත්මකයි.

ඒ අවුරුද්දෙත් තරඟය පැවැත්වුන. මනා කළමනාකාරීත්වයට පින්සිද්දවෙන්න ඒ අවුරුද්දේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් දෙකකින් පරාද වුණා. මේ වතාවේ නම් ඔරුව පදවන්නාට සමාවක් ලැබුනේ නෑ. ඔහුගේ උනන්දුව නැතිකමින් තරඟය පරාජය වීම හේතුවෙන් ඔහුව කණ්ඩායමෙන් නෙරපා හරිනු ලැබුවා.