ඔබ හා මෙමා .....

Posted by තිවංක | | Posted On Friday, October 24, 2014 at 9:20 AM

ඔබ සමඟ එක් වෙලා
තුන් වසක් ගත වෙලා
අපේ පොඩි පුතුට දැන්
අවුරුද්දකුත් වෙලා

ඇසෙන විට කිරි සිනා
එය ම මුළු ලොව වෙලා
සිතෙනවා ලෝකයම
කෙතරම් සොඳුරුද කියා

මේ තරම් සුන්දර
වෙයි කියා සිතුනි ද
මීට සත් වසරකට
පෙර ඇරඹි මිතුදම

ගහ මොට නම්

Posted by තිවංක | | Posted On Monday, March 18, 2013 at 4:54 PM

"අනේ ප්ලීස්. ඔයාට පුලුවන් ද මට හෙල්ප් කරන්න ?"

නිවාසාන්තර ක්‍රීඩා තරඟ පවත්වන දිනයේදී පිට්ටනිය කෙළවරක සිටි තමන්ගේ එක වසර පන්තියේ ගුරුතුමියගෙන් ඒ පුංචි දරුවාට එසේ අසන්නට සිදු වූයේ නොසිතූ වෙලාවක තම හැඳිවතෙහිම මළ පහ වූ නිසා ය. තම සිඟිති දියණියට වඩා මඳක් වයසින් වැඩි කුඩා දරුවා ගේ ආයාචනයෙන් ගුරුතුමියගේ සිත සසල විය. කුඩා දරුවා වැසිකිලිය වෙත රැගෙන ගිය ද මළ පහ තනිව සෝදා ගැනීමට කුඩා දරුවාට නොහැකි බව පවසූයෙන් ඒ කටයුත්ත කරන්නට සිදු වූයේද ගුරුතුමියට ය.

"පොඩි කාලෙම තමන්ගේ දේවල් කරගන්න දරුවන්ට පුරුදු කරන්න ඕන. නැත්නම් ඒගොල්ලොම තමයි පස්සේ අමාරුවේ වැටෙන්නේ"
         
පසු දිනක එම දරුවාගේ මව හමුවූ මොහොතකදී , ඇය සමඟ මෙම සිද්ධිය කතිකා කිරීමට අවස්ථාවක් ගුරුතුමියට ලැබී තිබුණි.

"ළමයගේ තාත්තටත් තනියම ෂර්ට් එක ඇඳගන්න බෑ. ෂර්ට් එක අඳින්නත් මම අත්දෙක දාන්න උදවු කරන්න ඕන. ළමයින්ගේ දේවල් වලට කිසි උදව්වක් නෑ. ඉතින් මම ළමයට තමන්ගේ දේවල් කරගන්න උගන්නන්නේ කොහොමද මිස්."      
         
ඉතා අසරණ ලෙස ඇය දුන් පිළිතුරත් සමඟ ගුරුතුමිය මොහොතකට ගොළු වූයේ දීමට පිළිතුරක් සොයාගත නොහැකි නිසාය.

ගහේ කටු උල් කරන්න ඕන නෑ..... ගහ මොට නම්...................................

සූරාගෙන කෑම

Posted by තිවංක | | Posted On Tuesday, January 8, 2013 at 1:34 PM

ලංකාවේ ප්‍රසිද්ධ (ගංගාරාම පන්සල පෙනෙන මානයේ ඇති) පෞද්ගලික රෝහලක් වෙත මම බිරිඳ සමඟ ගියේ ඇයගේ පාදයක තිබූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමටය. නමුත් හදිස්සියේම බිරිඳ, ඇයගේ උදරයේ දකුණුපස සහ පිට කොන්දේ අධික වේදනාවක් ඇති බව පවසූ නිසා, මා ඇයව එම රෝහලේම හදිස්සි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කලේ වෙනත් විකල්පයක් සොයාගැනීමට කල් වේලා නොමැති නිසාමය.

"මෙයාට ultra sound scan එකක් කරන්න වෙනවා. අපි දැනට වේදනා නාශකයක් දෙන්නම්. ඕන වුනොත් දවසක් විතර නවතින්න පුළුවන් නේද ? අපි scan එක කරලා බලමු."

ඇයගේ රෝග ලක්ෂණ ගැන ඇසූ එම මොහොතේ හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයා මා හට පැවසූවා. එම පරීක්ෂණයෙන් (scan) පසු පරීක්ෂණ වාර්තාව ගෙන මා හට පෙන්වූ එම වෛද්‍යවරයා,

 "මම හිතුව හරි. මේ බලන්න. ඔයාට මේක කියවන්න පුළුවන් නේද ? මේකේ කියල තියන විධියට එකක් නෙවෙයි, ගල් පේලියක් ම තියනවා දකුණු වකුගඩුවේ. සමහර විට operation එකක් කරන්නත් වෙයි. ඉක්මනටම admit කරලා තවත් පරීක්ෂණ ටිකක් කරන්න වෙනව. මොකද කරන්නේ ? පැය 24 ක් ඇතුලත කරන දෙයක් කරන්න වෙනවා."

 ඔහුගේ පිළිතුරෙන් මා මඳක් කලබල වුණා. එක්වරම රෝහලට බිරිඳව ඇතුලත් කිරීමට මඳක් මැලි වුවද, ඇයගේ තත්වය බරපතල බව එම වෛද්‍යවරයා පවසූ නිසා, මා ඉක්මන් තීරණයක් ගතයුතුව තිබුණා. ශල්‍ය වෛද්‍යවරයකු වූ මාගේ මිතුරෙකුගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තේ තීරණයක් ගැනීමට මත්තෙන් උපදෙසක් ගැනීමටය.

 "ultra sound scan එකකින් විතරක් වකුගඩුවේ ගල් තියනවා කියන්න බෑ. ඒකට තව ගොඩක් test කරන්න තියනවා. ඔතන ඉන්න අය කරන්නෙම ඔයවගේ පිස්සු වැඩ. ඔයා wife ව හෙට මට පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියල. අනිත් එක, වකුගඩු ගල් වලට දැන් operation කරන්න ඕන නෑ. බෙහෙත් තියනවා ඒවා දියවෙන්න දෙන."

 ඔහුගේ උපදෙස අනුව කටයුතු කිරීමට තීරණය කල මා, බිරිඳ ව රැගෙන යන බව හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයාට දැන්වූවා.

 "කමක් නෑ. මෙහෙන් නැතත් කොහෙන් හරි ඉක්මනට operation එක කරගන්න."

 ඔහු පැවසූවා. පැය 24 ක් ඇතුලත සැත්කම නොකලොත් විය හැකි දේ කුමක් ද කියා ඉන්පසුව මම හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයාගෙන් ඇසුවා.

"මම දන්නේ නෑ ඉතින් වකුගඩුව නැති වෙයි. එච්චරයි."

මෙවන් මිනිසුන් වෛද්‍ය වෘත්තියේ යෙදීම එම වෘත්තියටද නිගාවකි. රෝගියකුට තම රෝගී තත්වය මොවුන් පවසන අන්දම කෙතක් නම් පහත් අඩියට වැටී ඇත්දැයි මට සිතුනි. ඔහුට උවමනා වූයේ කෙසේ හෝ මාගේ බිරිඳ එම පෞද්ගලික රෝහලට ඇතුලත් කිරීම හැර අනෙකක් නොවන බව මට පැහැදිලි විය. වේදනා නාශකය නිසා බිරිඳගේ වේදනාව මඳක් අඩු වූයෙන් ඇයත් සමඟ මා රෝහලෙන් පිටවීය. කලින් දිනයේදී ගත් පරීක්ෂණ වාර්තාව (ultra sound scan report) සමඟ මිතුරාගේ පියා හමුවීමට අප ගියේ පසු දින ය.

"මේ report එකේ කොහෙවත් කියල නෑ වකුගඩුවේ ගල් තියනවා කියල. කවුද එහෙම කියපු දොස්තර"

කියල ඔහු සිනාසුනා. අඩුම තරමින් තමන් විෂය ගැන නොදන්නේ නම්, ඒ ගැන දැනුමක් ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමටවත් හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයා ක්‍රියා කල යුතුව තිබුණි.
"අපි කෝකටත් මුත්‍රා පරීක්ෂණයක් කරලා බලමු."

ඔහු කිව්වා. මුත්‍රා පරීක්ෂණ වාර්තාව අනුව බිරිඳට එසේ සිදුවී ඇත්තේ විසබීජයක් ශරීරගත වීමෙන් බව පවසූ ඔහු එයට ප්‍රතිකාර ලබා දුන්නා. විසබීජය කුමක්ද කියා හඳුනා ගැනීමට තවත් පරීක්ෂණයක් කිරීමට ඔහු නිර්දේශ කළා. පරීක්ෂණ වාර්තාව ලැබීමට සාමාන්‍යයෙන් දින දෙකක් පමණ ගතවන බවත් ඔහු මතක් කළා.


පසු දින බිරිඳ අධික උණකින් පෙලීම නිසා මිතුරාගේ පියාගේ අනුදැනුම පරිදි ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට අප තීරණය කළේය (මිතුරාගේ පියා ද ජාතික රෝහලේ වෛද්‍යවරයෙකි). අධික උණ සෑදීමට හේතුව විසබීජය වඩා බලවත් එකක් වීමය. දින දෙකක පමණ ප්‍රතිකාර වලින් පසු බිරිඳගේ රෝගී තත්වය සුව අතට හැරුණි. රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය රෝගීන්ට කෙතරම් කාරුණිකව සලකන්නේද යන්න මා එහිදී අත්දුටු දෙයක්. සෑම රජයේ රෝහලකම තත්වය මෙසේ නොවූවද කොළඹ ජාතික රෝහලේ සේවය විශිෂ්ටය. විශාල මුදල් ප්‍රමාණයක් අය කලද නිසි සේවයක් සැලසීමට නොහැකි වීම ගැන පෞද්ගලික රෝහල් ගැන ඇති වන්නේ කලකිරීමකි. අනෙක් පෞද්ගලික රෝහල් වල තත්වයත් මෙසේම වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

වාසනාවට මා දන්නා හඳුනන වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමට මා හට හැකි විය. නමුත් අනෙක් සියලු රෝගීන්ටම එම වාසනාව නොතිබීමට පුළුවන. පෞද්ගලික රෝහල් බොහෝවිට සිදු කරන්නේ අහිංසක රෝගීන් සූරා කෑමය. එය අතීතයේත් සිදු විය. දැනටත් සිදු වෙමින් පවතී. අනාගතයේ ද තත්වය එසේම වනු ඇත.

ගූඩ් ඊව්නින්ග් සර් ....

Posted by තිවංක | | Posted On Thursday, August 23, 2012 at 1:22 PM

එය මීට වසර කිහිපයකට පෙර එක්තරා දිනයක රාත්‍රී 10 ට පමණ ය. මම, මාගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ පෞද්ගලික රෝහලක සිටි රෝගියකු බැලීමට ගොස් නවාතැන බලා පැමිණෙන අතර මරදාන ප්‍රදේශයේදී පොලිසිය විසින් අප ගමන් කල රථය නැවත්වීමට සන් කළේය. එම මොහොතේ රථයේ රියදුරා මා වූ බැවින්, රථයේ බලපත්‍ර සහ මාගේ රියදුරු බලපත්‍රය රැගෙන පොලිස් නිලධාරියා වෙත යාමට රථයෙන් බසින්නටත් මත්තෙන්, ඔහු අපගේ රථය අසලට පැමිණ සිටියේය.

"ගූඩ් ඊව්නින්ග් සර්................... වාහනේ ලයිෂන් ඉන්ෂූවරන්ස් දෙනවා ද ?"

ඔහුට රථයේ බලපත්‍ර සහ මාගේ රියදුරු බලපත්‍රය ලබා දී, මම, මාවම කොනිත්තාගෙන බැලූයේ මා සිටින්නේ සිහිනයක් දකිමින් ද නැද්ද යන්න සැක හැර දැනගැනීමට ය. නැත නැත...... එය සිහිනයක් නොවේ. ඔහු වෙනත් රටක පොලිස් නිලධාරියෙක්ද නොවේ. ඔබත් මමත් දිනපතා බනින, සාමාන්‍යයෙන් උස්(යැයි කියන) තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන, නිලධාරීන් බහුතරයක් සිටින අපේ රටේ පොලිසියේම තවත් එක් අසාමාන්‍ය නිලධාරියෙකි.

"තෑන්ක් යූ....... ගූඩ් නයිට් සර්"

බලපත්‍ර පරීක්ෂාව නිම වීමෙන් පසු ව සියල්ල නැවතත් මා හට ලබා දුන් ඔහු අපට යාමට අවසර දුනි.

තවමත් අනෙක් මිනිසුන්ට හොඳින් ආමන්ත්‍රණය කරන ගරු කටයුතු නිලධාරීන් ඉතාමත්ම ස්වල්පයක් පොලිසියේ සේවය කරන බව නැවතත් මතකයට පැමිණියේ ඊයේ දිනයේද මීට ආසන්න සිද්ධියක් අත්දැකීමට සිදු වූ බැවිනි. එවැනි ගරු කටයුතු නිලධාරීන්ට උපහාරයක් පිණිස මෙය, මෙසේ සටහන් තබමි.

ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා ......

Posted by තිවංක | | Posted On Monday, August 20, 2012 at 2:46 PM

"පුතේ, තාත්ත ඒ කාලේ මගේ පිට පැලෙන්න ගහල තියනවා."

මගේ තාත්තගේ අතිජාත මිත්‍රයෙක් ගේ ගෙදරට පසුගිය දිනක තාත්තත්, මමත් මගේ බිරිඳත් ගොඩ වුනු වෙලාවක තාත්ත ගැන තාත්තාගේ මිතුරා විස්තර කළේ ඔවුන් පාසල් කාලයේ කල ක්‍රීඩාවක් ඇසුරින්. තාත්තගේ බොහෝ මිතුරන් ආශ්‍රය කිරීමේ වාසනාව මට උදා වී තිබුනද, මේ මිතුරා මා දැනගෙන සිටියේ නාම මාත්‍රිකව පමණි. ඔහු වාසය කරන නගරය අප වාසය කරන නගරයෙන් බොහෝ දුරස් වී තිබීම එයට හේතුව වන්නට ඇතැයි සිතමි. නමුත් තාත්තා, ලඟින් ඇසුරු කල මිතුරන්ගෙන් ඔහුත් එක් අයෙකි.

සිනාමුසු මුහුණින් අපව පිළිගත් ඔහු අප සමඟ ඔවුන්ගේ පාසල් ජීවිත අත්දැකීම් ආවර්ජනය කළා. ඔහුට උපතින් ම ඇස් වල ආබාධයක් තිබූ බව තාත්තා මට කලින් දිනක කියා තිබුණි.

"ලඟදි දවසක මචන් මාව සර්පයෙක් කෑවා. මම ඉස්සෙල්ලම කලේ ඌ මරපු එක. ඊට පස්සේ ඌත් අරගෙන ඉස්පිරිතාලෙට ගියා. මට සෑහෙන්න අමාරු වුණා. දොස්තර මහත්තය මගෙන් ඇහුව එක දෙක වෙලා පේනවා ද කියල. මම කිව්වා, මට කොහොමත් එක දෙක වෙලා පේන්නේ, එක හතර වෙලා පේනවා නම් තමයි අවුල"
කියු ඔහු මහා හඬින් සිනා සුනා.

ඔහුගේ අසනීප තත්ත්ව ගැන කතා කරන්නත් ඔහු අමතක කලේ නෑ.

"උඹ දන්නවා නේ මචන්, මම කොහොමත් මේ වෙලාවට පොඩි අඩියක් ගහල නේ ඉන්නේ. ඒකත් බොහොම පොඩ්ඩයි. මම උපදෙස් ගන්න doctor මගෙන් බොනවද කියල අහල, මම පොඩි අඩියක් ගහනවා කිව්වම, two shots, twice a week is ok කියල තමයි කිව්වේ" කියල මහා හඬින් සිනා සුනා. වැඩි වෙලා නොගොසින් ම, ඔහු ජීවිතය සැහැල්ලුවෙන් හා සන්තෝසයෙන් ගෙවන බව අපට වැටහුනා.

මඳ වෙලාවක් අප සමඟ සතුටු සාමීචියේ යෙදී සිට කුස්සිය දෙසට සෙමින් ගමන් කළා. අපට තේ පැන් සංග්‍රහය කලේද ඔහු විසින් ම යි. අප නිවසින් පිට වීමට සැරසුන විට,

"පොඩ්ඩක් හිටපන්. අපේ නෝනේ ව එලියට එක්ක එන්න බලන්නම්" කියල ඔහු කුස්සිය දෙසට පිය නැඟුවා.

"ඒ මාමා ගේ නෝනට පොඩි මානසික ලෙඩක් තියනවා. වැඩිය එලියට එන්නේ නෑ"

තාත්තා කලින් දවසක කියූ දෙයක් එකවරම මට සිහියට නැඟුනේ නිරායාසයෙන්මයි . ජීවිතේ තරුණ කාලේ හොඳින් ගත කර, කුමක් හෝ අභාග්‍යයකට මානසික ලෙඩෙක් වෙච්ච තමන්ගේ බිරිඳ අතින් අල්ලාගෙන තාත්තගේ යාළුවා අප දෙසට ආව. තමන් ගේ බිරිඳ මානසික ලෙඩෙක් වුනත්, ඔහු තවමත් ඇයට ඉතාම ආදරෙන් සලකන බව අපට වැටහුනා.

ඔවුන්ගේ විවාහ දිනයේ ඡායා රූපය අපට පෙන්වන අතර
"ඔය තියන පින්තුරේ ඉන්නෙත් මෙයා තමයි. අඳුරගන්න බෑ නේද ? " කියල මඳ සිනහවක් පෑවා.

"ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා ......"

මගේ බිරිඳ ට, ඇයගේ මාමා කෙනෙකු කියා තිබූ කතාව, කෙතරම් නම් යතාර්තයක්ද යන්න වැටහීමට මට මඳ වෙලාවක් ගත වුණා.

මහන්සියෙන් තොර (ජය)ග්‍රහණය

Posted by තිවංක | | Posted On Friday, June 15, 2012 at 3:31 PM

පහුගිය වෙසක් පෝයට අපේ කාර්යාලයෙන් වෙසක් කූඩු තරඟයක් සංවිධානය කරලා තිබුන. ඉතින් හැමෝම බොහොම උනන්දුවෙන් වෙසක් කූඩු නිර්මාණය කළා. අපේ කණ්ඩායමට අට (8) දෙනෙක් හිටිය.
කාර්යාල වෙලාවේ ඔය වැඩේ කරන්න බැරි නිසා, තරඟයට කලින් දවසේ හවස ටිකක් වැඩිපුර ඉඳල කූඩුව හදන්න කට්ටියම කැමති වුණා. කණ්ඩායමේ අට දෙනෙක් හිටිය කිව්වට ඇත්තටම කාර්යාල වෙලාවට පස්සේ නැවතිලා වැඩ කලේ හත් (7) දෙනයි. එක්කෙනෙක් වෙනද වෙලාවටම කාර්යාලයෙන් ගියා. එයාට මොකක්දෝ පෞද්ගලික වැඩක් තියනවා කියල වෙන කෙනෙක් කියනවා මට යාන්තමට වගේ ඇහුන. කොහොම හරි අනෙක හත් දෙනාම සැහෙන්න මහන්සි වෙලා කූඩුවේ වැඩ කළා. අනෙක් හත් දෙනාගෙන් දෙදෙනෙක් ම වෙනත් ආගම් අදහන දෙදෙනෙක්. නමුත් ඒ දෙදෙනාත් සැහෙන්න මහන්සි වෙලා කරපු වැඩ ටික ඇත්තටම අගයකරන්න ඕන. අපි එදා කාර්යාලයෙන් ගෙදර යනකොට පාන්දර 2 විතර වුණා.

තීරණය දෙන්න නියමිත වෙලා තිබුනේ පහුවෙනිදා උදේ 11 ට. ඊට කලින් කූඩුවේ ඉතිරි වැඩ ටික ඉවර කරන්නත් තියන නිසා පහුවෙනිදත් කට්ටිය උදෙන්ම ආව. කලින් දවසේ වගේම කට්ටිය සැහෙන්න මහන්සියෙන් වැඩ කළා. නමුත් අර කලින් දවසේ වේලාසනින් ගියා කෙනා අඩුම තරමේ එදා උදේ වත් වැඩ වලට උදව් වෙන්න ආවේ නෑ. අන්තිම මොහොතේ කොඩි වැල් ටිකක් එල්ලන්න ආව. කවුරුවත් එයාට එන්න කියල බල කලෙත් නෑ. මොකද, ඒ දේවල් වලට සහභාගී වෙන්නත් වසනාව, ලැබීම තියෙන්නේ ඕන නේ. :) කොහොම හරි තරඟයෙන් අපේ කණ්ඩායමට පළවෙනි තැන ලැබුණා. ඒ වගේ වෙලාවට සමූහ ඡායාරූපයකුත් ගන්න එක ඉතින් අලුත් දෙයක් නෙවෙයි නේ. කට්ටියත් එක්ක ගත්ත සමූහ ඡායාරූපයට අර මනුස්සයත් ඇවිල්ල ලස්සනට පෙනී හිටිය.

"උඹත් ඔය team එකේ ද ? මම උඹව ඊයේ රෑ ඉන්නවා දැක්කේ නෑ නේ. "

ඡායාරූපය ගත්ත මිත්‍රය ඇඟට නොදනී කිව්වා.

විවාහ යෝජනාවක නොදුටු පැත්ත

Posted by තිවංක | | Posted On Wednesday, January 11, 2012 at 3:27 PM

"මචන්. හෙට හවස මොනවහරි වැඩ දාගෙන තියනවද ?"

දුරකතනයෙන් කතාකරපු මගේ අතිජාත මිත්‍රයන්ගෙන් කෙනෙක් ඇහුව.

"එහෙම විශේෂ වැඩක් නම් නෑ. මොකක්ද මචන් වෙන්න ඕන ?"

"අම්ම මේ දවස් වල මාව පත්තරේට දාල නේ. ඉතින් ඒ කෙල්ලෙක් බලන්න යන්න."

විශේෂ වැඩක් යොදාගෙන තිබුනේ නැති නිසා යාලුවත් එක්ක මමයි මගේ බිරිඳයි පස්සේ දවසේ ගමන යන්න පිටත් වුනා. ඉස්සෙල්ලම ඒ ගෙදරට යන ගමන නිසාත්, සැලකිය යුතු ගානක දෙයක් අරගෙන යන්න කියල යාළුවගේ අම්මත් මතක් කරපු නිසාත්, කේක් එකකුත් අරගෙන අපි මනමාලිගේ ගෙදරට ගියා. මනමාලිගේ අම්මයි තාත්තයි එක්ක ටිකක් කතා කර කර හිටිය. මනමාලි අපේ රටේ ප්‍රසිද්ධ සරසවියකින් උපාධියක් අරගෙන, දැන් පශ්චාත් උපාධියකටත් ඉගෙනගන්නවා කියල තමයි දෙමුපියෝ කිව්වේ. ටිකකින් මනමාලි අපිට සංග්‍රහ කරන්න බන්දෙසියකුත් අරගෙන ආව. අඩුම තරමේ හිනා පොදක්වත් මූනේ නැතිව බන්දේසියේ කෑම ජාති යාලුවට පිලිගන්වල, අපි දෙන්නට පිලිගන්වුවේ තනි අතින්. පශ්චාත් උපාධි කලාට, ගෙදරට ආපු මනුස්සයෙක්ට බන්දෙසියකින් කෑම පිළිගන්වන විධිය වත් හරියට දන්නේ නෑ. (ඒ මදිවට මගේ යාළුවා වගේ 2 1/2 විතර ඇති :-| ). ඊට පස්සේ බන්දේසිය මෙසේ උඩ තියල, ගිහිල්ල අම්මගේ පෙරැත්ත නිසාම ටිකක් එහාට ගිහින් වාඩි වුණා. ඒ වාඩි වුනෙත් අපි හිටපු පැත්තට පිටිපස්ස හරවාගෙන. හ්ම්ම් . තේ බන්දේසිය පිලිගැන්වුවෙත් අර විධියටම තමයි. :). ටික වෙලාවක් ඉඳල අපි එන්න ආව.

"අපරාදේ කේක් එකට දුන්න සල්ලි" මට ඉබේටම කියවුණා.