සූරාගෙන කෑම

Posted by තිවංක | | Posted On Tuesday, January 8, 2013 at 1:34 PM

ලංකාවේ ප්‍රසිද්ධ (ගංගාරාම පන්සල පෙනෙන මානයේ ඇති) පෞද්ගලික රෝහලක් වෙත මම බිරිඳ සමඟ ගියේ ඇයගේ පාදයක තිබූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමටය. නමුත් හදිස්සියේම බිරිඳ, ඇයගේ උදරයේ දකුණුපස සහ පිට කොන්දේ අධික වේදනාවක් ඇති බව පවසූ නිසා, මා ඇයව එම රෝහලේම හදිස්සි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කලේ වෙනත් විකල්පයක් සොයාගැනීමට කල් වේලා නොමැති නිසාමය.

"මෙයාට ultra sound scan එකක් කරන්න වෙනවා. අපි දැනට වේදනා නාශකයක් දෙන්නම්. ඕන වුනොත් දවසක් විතර නවතින්න පුළුවන් නේද ? අපි scan එක කරලා බලමු."

ඇයගේ රෝග ලක්ෂණ ගැන ඇසූ එම මොහොතේ හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයා මා හට පැවසූවා. එම පරීක්ෂණයෙන් (scan) පසු පරීක්ෂණ වාර්තාව ගෙන මා හට පෙන්වූ එම වෛද්‍යවරයා,

 "මම හිතුව හරි. මේ බලන්න. ඔයාට මේක කියවන්න පුළුවන් නේද ? මේකේ කියල තියන විධියට එකක් නෙවෙයි, ගල් පේලියක් ම තියනවා දකුණු වකුගඩුවේ. සමහර විට operation එකක් කරන්නත් වෙයි. ඉක්මනටම admit කරලා තවත් පරීක්ෂණ ටිකක් කරන්න වෙනව. මොකද කරන්නේ ? පැය 24 ක් ඇතුලත කරන දෙයක් කරන්න වෙනවා."

 ඔහුගේ පිළිතුරෙන් මා මඳක් කලබල වුණා. එක්වරම රෝහලට බිරිඳව ඇතුලත් කිරීමට මඳක් මැලි වුවද, ඇයගේ තත්වය බරපතල බව එම වෛද්‍යවරයා පවසූ නිසා, මා ඉක්මන් තීරණයක් ගතයුතුව තිබුණා. ශල්‍ය වෛද්‍යවරයකු වූ මාගේ මිතුරෙකුගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තේ තීරණයක් ගැනීමට මත්තෙන් උපදෙසක් ගැනීමටය.

 "ultra sound scan එකකින් විතරක් වකුගඩුවේ ගල් තියනවා කියන්න බෑ. ඒකට තව ගොඩක් test කරන්න තියනවා. ඔතන ඉන්න අය කරන්නෙම ඔයවගේ පිස්සු වැඩ. ඔයා wife ව හෙට මට පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියල. අනිත් එක, වකුගඩු ගල් වලට දැන් operation කරන්න ඕන නෑ. බෙහෙත් තියනවා ඒවා දියවෙන්න දෙන."

 ඔහුගේ උපදෙස අනුව කටයුතු කිරීමට තීරණය කල මා, බිරිඳ ව රැගෙන යන බව හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයාට දැන්වූවා.

 "කමක් නෑ. මෙහෙන් නැතත් කොහෙන් හරි ඉක්මනට operation එක කරගන්න."

 ඔහු පැවසූවා. පැය 24 ක් ඇතුලත සැත්කම නොකලොත් විය හැකි දේ කුමක් ද කියා ඉන්පසුව මම හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයාගෙන් ඇසුවා.

"මම දන්නේ නෑ ඉතින් වකුගඩුව නැති වෙයි. එච්චරයි."

මෙවන් මිනිසුන් වෛද්‍ය වෘත්තියේ යෙදීම එම වෘත්තියටද නිගාවකි. රෝගියකුට තම රෝගී තත්වය මොවුන් පවසන අන්දම කෙතක් නම් පහත් අඩියට වැටී ඇත්දැයි මට සිතුනි. ඔහුට උවමනා වූයේ කෙසේ හෝ මාගේ බිරිඳ එම පෞද්ගලික රෝහලට ඇතුලත් කිරීම හැර අනෙකක් නොවන බව මට පැහැදිලි විය. වේදනා නාශකය නිසා බිරිඳගේ වේදනාව මඳක් අඩු වූයෙන් ඇයත් සමඟ මා රෝහලෙන් පිටවීය. කලින් දිනයේදී ගත් පරීක්ෂණ වාර්තාව (ultra sound scan report) සමඟ මිතුරාගේ පියා හමුවීමට අප ගියේ පසු දින ය.

"මේ report එකේ කොහෙවත් කියල නෑ වකුගඩුවේ ගල් තියනවා කියල. කවුද එහෙම කියපු දොස්තර"

කියල ඔහු සිනාසුනා. අඩුම තරමින් තමන් විෂය ගැන නොදන්නේ නම්, ඒ ගැන දැනුමක් ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමටවත් හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයා ක්‍රියා කල යුතුව තිබුණි.
"අපි කෝකටත් මුත්‍රා පරීක්ෂණයක් කරලා බලමු."

ඔහු කිව්වා. මුත්‍රා පරීක්ෂණ වාර්තාව අනුව බිරිඳට එසේ සිදුවී ඇත්තේ විසබීජයක් ශරීරගත වීමෙන් බව පවසූ ඔහු එයට ප්‍රතිකාර ලබා දුන්නා. විසබීජය කුමක්ද කියා හඳුනා ගැනීමට තවත් පරීක්ෂණයක් කිරීමට ඔහු නිර්දේශ කළා. පරීක්ෂණ වාර්තාව ලැබීමට සාමාන්‍යයෙන් දින දෙකක් පමණ ගතවන බවත් ඔහු මතක් කළා.


පසු දින බිරිඳ අධික උණකින් පෙලීම නිසා මිතුරාගේ පියාගේ අනුදැනුම පරිදි ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට අප තීරණය කළේය (මිතුරාගේ පියා ද ජාතික රෝහලේ වෛද්‍යවරයෙකි). අධික උණ සෑදීමට හේතුව විසබීජය වඩා බලවත් එකක් වීමය. දින දෙකක පමණ ප්‍රතිකාර වලින් පසු බිරිඳගේ රෝගී තත්වය සුව අතට හැරුණි. රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය රෝගීන්ට කෙතරම් කාරුණිකව සලකන්නේද යන්න මා එහිදී අත්දුටු දෙයක්. සෑම රජයේ රෝහලකම තත්වය මෙසේ නොවූවද කොළඹ ජාතික රෝහලේ සේවය විශිෂ්ටය. විශාල මුදල් ප්‍රමාණයක් අය කලද නිසි සේවයක් සැලසීමට නොහැකි වීම ගැන පෞද්ගලික රෝහල් ගැන ඇති වන්නේ කලකිරීමකි. අනෙක් පෞද්ගලික රෝහල් වල තත්වයත් මෙසේම වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

වාසනාවට මා දන්නා හඳුනන වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමට මා හට හැකි විය. නමුත් අනෙක් සියලු රෝගීන්ටම එම වාසනාව නොතිබීමට පුළුවන. පෞද්ගලික රෝහල් බොහෝවිට සිදු කරන්නේ අහිංසක රෝගීන් සූරා කෑමය. එය අතීතයේත් සිදු විය. දැනටත් සිදු වෙමින් පවතී. අනාගතයේ ද තත්වය එසේම වනු ඇත.

අදහස්:

" සූරාගෙන කෑම" සඳහා අදහස් 8 කි

ඔබගේ අදහස .....