බලු කරදර ......

Posted by තිවංක | | Posted On Friday, August 19, 2011 at 4:11 PM

"මල්ලි, කතා කලේ පොඩි කරදරයක් වෙලා. ඊයේ මාව බල්ලෙක් හැපුව. දැන් බලනකොට ඒක මැරිලා. යාලුවෙක් ට කතා කලාම එයා කිව්වේ, ජලභීතිකාව හැදුන බල්ලෙක් ද දන්නේ නෑ, ඒක නිසා බල්ලාගේ ඔලුව අරගෙන MRI එකට ( වෛද්‍ය පර්යේෂණ ආයතනයට ) පුළුවන් ඉක්මනට අරන් යන එක කෝකටත් හොඳයි කියල. උඹට දැන් එන්න පුළුවන් ද ? "

හ්ම්ම්ම්..... රෑ 10.30 ට පමණ පැමිණි දුරකථන ඇමතුමකින් මගේ සුව නින්ද අඩාල වුණා. උදව්ව ඉල්ලුවේ ඥාති සොහොයුරෙක් නිසාත්, කතා කල හේතුව තරමක බරපතල කාරණයක් නිසාත්, මම ඒ වෙලාවේම ඥාති සොහොයුරාගේ නිවසට පිටත් වුණා. බල්ලාගේ මල කඳ මල්ලක දමාගෙන ගියත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාර ගන්නේ බල්ලාගේ ඔලුව විතරයි. මැරිච්ච බල්ලෙක්ගේ වුනත් බෙල්ල කපන්න තරම් අපිට හිත හදාගන්න හැකියාවක් නොතිබුන නිසා, වෛද්‍ය පර්යේෂණ ආයතනයට බල්ලාගේ ඔලුව විතරක් ගෙනියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. වෙලාව මැදියම් රැය ආසන්න වෙලා තිබුන නිසා කාරනා අපිට සුභ දායක විදියට පෙළ ගැහිලා තිබුනේ නෑ. ඕන දෙයක් වෙන්න කියල බල්ලව අරගෙන පුංචි බොරැල්ලට ගියේ මූලික රෝහල අසල ඇති මල්ශාලවකින්වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි ද කියල උත්සහ කරන්නයි. සැහෙන්න වෙහෙසක් වෙලා මල්ශාලා දෙක තුනකම අය නැඟිට්ටේව්වත් කිසිම කෙනෙක් වැඩේ කරලා දෙන්න කැමති වුනේ නෑ. අන්තිමට ගිය මල්ශාලාවේ අය බල්ලාගේ ඔලුව වෙන් කරලා දෙන්න රු 5000 ක් ඉල්ලුව.

වැඩේ හරියන්නේ නැති නිසා බල්ලවත් අරගෙන දෙන්නත් එක්ක වෛද්‍ය පර්යේෂණ ආයතනයට ගියේ එතනින් මොකක් හරි විසඳුමක් ලබාගන්න.

"ඔය එහා පැත්තේ පාරේ පශු වෛද්‍ය කෙනෙක් ඉන්නවා. එතනනින් වැඩේ කරගන්න පුළුවන් වෙයි."

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ආරක්ෂක නිලධාරියාගෙන් දැනගත්ත තොරතුර ඔස්සේ දෙන්නත් එක්ක බල්ලව අරගෙන ගියා. පශු වෛද්‍ය ඉන්න තැනම ඉස්සරහ තියෙන්නේ, කොළඹ නගර සභාවේ සුනඛාගාරය ( ඉස්සර බල්ලෝ මරල ගෙනත් දාන තැන ) ට . එතන හිටපු මනුස්සයව නැඟිට්ටවන්න අපිට විනාඩි 15 ක් විතර ගත වුණා. එතකොට වෙලාව පාන්දර 12.30 විතර වෙලා.

"වෙලාවේ හැටියට නම් මහත්තයෝ රුපියල් 1000 ක් වත් වැඩේට ඕන. කඳ වලලන්න මහත්තයලට පුළුවන් නේද ?"

ඒත්, ගෙදර ගිහින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මානසික තත්වෙක අපි හිටියේ නෑ.

"නැත්නම් තව 500 ක් දෙන්න. මම වැඩේ කරන්නම්."

සුනඛාගාරයේ හිටපු මනුස්සයටම අපි ඒ දේ භාර කලා.

" මහත්තයල පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ"

මැරිච්ච බල්ලා දාපු මල්ලත් අරගෙන ඔහු ඇතුලට ගියා. විනාඩි 5 කින් විතර ඔහු පොලිතීන් මල්ලක් අරගෙන ආවා. පොලිතීන් මල්ලේ දාපු බල්ලාගේ ඔලුව ඉල්ලගෙන, රුපියල් 1500 දීල අපි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යන්න පිටත් වුණා.

දුම්රිය මොහොතක් නතර වුනේ .........

Posted by තිවංක | | Posted On Friday, May 27, 2011 at 8:57 AM

සති අන්තයක ආරම්භය වූ බැවින් දුම්රිය, මඟීන්ගෙන් පිරී තිබුණි. තරමක් පටු බෝක්කුවක් පසු කරමින් තිබූ දුම්රිය, බොහෝ වෙලාවක් නාද වූ නලා ශබ්දයත් සමඟ, තම ගමන ද මඳකට නතර කළේය. ඒ වන විටද දුම්රියේ ගැටී සිහි සුන්ව සිටි පුද්ගලයෙක් දුම්රිය යටින් පිටතට ගැනුනේ බොහෝ මඟීන්ගේ උපකාරයෙනි.

"නවත්ත ගන්න සැහෙන්න පුළුවන් කම තිබුන. අපරාදේ නවත්තගත්තේ නෑ නේ"

දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි ගම් වැසියකු දුම්රිය රියදුරාට දෙස් තියනු ඇසුනි. එතරම් විශාල යකඩ ගොඩක් එක වර නැවත්වීමට යාමෙන් සිදු විය හැකි ජීවිත හානිය කෙතරම් විය හැකිද යන්න ගැන ඔහු ඒ මොහොතේ තකන්නේ නැති බව පැහැදිලිය. දුම්රිය මාර්ගයේ මිනිසුන්ට ගමන් කිරීම තහනම් කර ඇත්තේද එම ප්‍රයෝගික අපහසුතාව නිසාම බව ඔහුට අමතකව ගොස් ද, එසේත් නැත්නම් ඔහු ඒ පිළිඹඳ ව නොදන්නේද යන්න සෙවීමට කිසිවෙකු උත්සාහ නොකළේ ය. හදිස්සි අනතුරකදී බොහෝදෙනා, තුවාලකරුවන් රෝහලකට ගෙනයාමට පසෙක තබා වරදකරු සොයා දඬුවම් දීමට යාම දැන් දැන් සුලභව සිදුවන්නේ මිනිසුන්ගේ මනස විකෘති වීමක් නිසාද යන්න ගැන මා හට වැටහීමක් නම් නැත.

මඟීන්ගේ උපකාරයෙන් ම අනතුරට පත් පුද්ගලයා දුම්රියට, ඒ සඳහාම දුම්රියේ ඇති ඇඳක් වැනි උපකරණයක තබා, මා ගමන් කල දුම්රිය මැදිරියටම නංවා ගත්තේය. තුවාල සිදුවී ඇති ආකාරයෙන්, එය සියදිවි නසාගැනීමට තැත් කිරීමක් නොව හදිස්සි අනතුරක් බව පැහැදිලි ය. තම ජීවිතයේ මැදියම් වයසට එළඹෙමින් සිටි අසරණ මිනිසා දෙස මගීන් බලා සිටියේ මහත් වූ අනුකම්පාවකිනි. ඔහුගේ හිසෙන් ගලාගෙන යන ලේ දුම්රිය මැදිරිය තුල ඒ මේ අත අනේක විද රටා මවයි. ඒ වන විට ද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඔහුගේ සිරුර ඊ ළඟ දුම්රිය නැවතුම්පලට දුම්රිය බලධාරීන් භාර දෙන ලද්දේ, ක්‍රියා පිළිවෙල එය වූ බැවිනි. අසරණ මිනිසාගෙන් ගලා ගිය ලේ පැල්ලම, මඟියෙකු පත්තර පිටුවකින් වසා දැමුවද, අනතුරෙන් බොහෝ දෙනාට සිදු වූ කම්පනය නැති වීමට බොහෝ කලක් ගතවනු ඇත.

"ජීවිතේ මොනතරම් අවිනිශ්චිත ද ? විනාඩියකට කලින් රේල් පාරේ ගිය කෙනා ඊට ටිකකට පස්සේ කෝච්චියට හැප්පිලා."

මඟීන් දෙදෙනකුගේ දෙබසක් මට යන්තමට ඇසුනි.

රෝද දෙකත්, ජීවිතයත් සමබරව

Posted by තිවංක | | Posted On Friday, March 25, 2011 at 2:17 PM

මා යතුරු පැදිය පැදවූයේ සාමාන්‍ය වේගයෙන්. පිටුපසින් පැමිණි තවත් යතුරු පැදියක් අධික වේගයෙන් මා පසු කර ඉදිරියෙන් ධාවනය කල බස් රථයද ඉස්සර කලේ තරමක් ලොකු වංගුවකදී ය.

මේ යන විදිය ආරක්ෂාකාරීද ? ඉස්සරහින් වාහනයක් ආව නම් මොකද වෙන්නේ ?
මට දහසකුත් එකක් ප්‍රශ්න.

ඕව මේවා හිත හිත මමත් මගේ ගමන ගියා. මට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. පාර අයිනේ සැහෙන්න පිරිසක් වට වෙලා හිටිය. කලින් අනාරක්ෂිතව යතුරුපැදිය පදවපු කෙනා වෙනත් වාහනයක වැදිලා. යතුරුපැදිය පෙරලිලා. පදවපු මනුස්සයත් වැටිලා. ඉක්මනින්ම යන්න ගිය ගමන කොහෙන් කෙලවර වෙයිද මන්දා.

යතුරුපැදිය කියන්නේ (මා ඇතුළුව) අපි බොහෝ දෙනෙක් ට ගමන් පහසුව සලසන වාහනයක්. ඉහල යන ඉන්ධන වියදමත්, හැම හෝල්ට් එකේම විනාඩි 5 ක් විතර පැලවෙන බස් ගැනත් හිතෙනකොට යතුරු පැදිය කියන්නේ සැහෙන්න හොඳ විකල්පයක්. නමුත් යතුරුපැදිය ආරක්ෂාකාරීව පාවිච්චි කරන්නේ කීයෙන් කීදෙනාද කියල විනාඩි 5 ක් විතර පාර අයිනට වෙලා බලාගෙන හිටියොත් ඕන කෙනෙක්ට අත්දකින්න පුළුවන්. ඉවසීම කියන එක ඇත්තෙම නෑ. පුළුවන් ද බැරි ද බලන්නේ නැතුව හැම තැනින්ම රිංගන්න යනවා. පරිස්සම් තැන් වලින් රිංගන්න එපා කියල මම කියන්නේ නෑ (මොකද මමත් යතුරුපැදියට යන්න ඉඩ තියනවා නම් කරන්නෙත් ඒ දේමයි. ).

රෝද දෙකේ වාහනේ සමබර කරගෙන ඒක උඩ යන ජීවිතත් පරිස්සම් කරගෙන යන්න බොහෝ දෙනා මීට වඩා හිතනවා නම් තමන් විතරක් නෙවෙයි අනිත් වාහනවල අයත් අමාරුවේ නොවැටී ගමනාන්තයට ලඟා වෙන්න පුළුවන්.

ඔරු තරඟය

Posted by තිවංක | | Posted On Wednesday, March 9, 2011 at 1:47 PM

බොහොම ඉස්සර කාලේ ලංකාවයි ජපානෙයි අතරේ ඔරු තරඟයක් තිබුණා. කණ්ඩායම් දෙකෙන්ම හත් දෙනා බැගින් තරඟෙට සුදානම්. ජපානේ කණ්ඩායමේ හය දෙනෙක් ඔරුව පදවන්න යොදවල තිබුණා. එක් අයෙක් කණ්ඩායමේ නායකයා විදියට අනෙක් හය දෙනා මෙහෙයවීමට සැලසුම් කරලා තිබුණා. ලංකාවේ කණ්ඩායමේත් හත් දෙනෙක් හිටියට පොඩි වෙනසක් තිබුණා. ඔරුව පදවන්න කණ්ඩායමෙන් කෙනෙක් යොදවල තියන අතරේ අනෙක් හයදෙනා ඔහුට නායකත්වය දෙන්න සැදී පැහැදී හිටිය.

තරඟය ආරම්භ කළා. ඉහල කළමනාකරුවන් හයදෙනාගෙන් ඔරුව පදවන්නාට මනා උපදෙස් ලැබුණා. එදා දවසේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් එකකින් පරාද වුණා.

මේ පරාජය පිළිඹඳ හේතු හොයන්න කමිටුවක් පත් කළා. ඔරුව පදවපු කෙනාගේ උනන්දුව මදිකම පරාජයට හේතුව බව කමිටුවේ ඒකමතික තීරණය වුණා. කමිටුවේ විද්වත් මණ්ඩලය ඔහුට දැඩි සේ අවවාද කළා.

තරඟය ඊලඟ අවුරුද්දෙදිත් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අනුව කණ්ඩායම් දෙකම මැනවින් පුහුණුවීම් කළා. මේ වසරේ, ජපානේ කණ්ඩායම් සැලැස්මේ වෙනසක් නොවුනත්, ලංකාවේ කණ්ඩායමේ පොඩි වෙනසක් කරන්න කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කරලා තිබුණා. ඒ අනුව, එක් අයෙක් ඔරුව පැදවීමටත්, දෙදෙනෙක් ඔහුට උපදෙස් දීමටත්, තවත් දෙදෙනෙක් එම උපදේශකයන් දෙදෙනා කළමනාකරණය කිරීමටත්, ඉතිරි දෙදෙනා මුළු කණ්ඩායමේ නායකත්වයටත් පත් කරලා කණ්ඩායම සුදානම් කළා. කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ඔරුව පදවන්නාට ලැබෙන උපදෙස් සංවිධානත්මකයි.

ඒ අවුරුද්දෙත් තරඟය පැවැත්වුන. මනා කළමනාකාරීත්වයට පින්සිද්දවෙන්න ඒ අවුරුද්දේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් දෙකකින් පරාද වුණා. මේ වතාවේ නම් ඔරුව පදවන්නාට සමාවක් ලැබුනේ නෑ. ඔහුගේ උනන්දුව නැතිකමින් තරඟය පරාජය වීම හේතුවෙන් ඔහුව කණ්ඩායමෙන් නෙරපා හරිනු ලැබුවා.

ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසා

Posted by තිවංක | | Posted On Friday, February 18, 2011 at 11:26 AM

ගුණදාස කපුගේ කියන්නේ බොහෝ දෙනෙක් එකසේ ගරු කරන විශිෂ්ට සංගීතඥයෙක් කියන එක අවිවාදාත්මකයි. එතුමාගේ ගීත ප්‍රිය නොකරන කෙනෙක් නැති තරම්. නමුත්, එතුමා මීට ටික කාලෙකට කලින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් එක්ක එතුමාගේ ගීත කීපයක් එළිදැක්වූවා. පසුව බොහෝ සංගීතඥයන් එතුමාව අනුකරණයකලත්, ඒ දේ ඉස්සෙල්ලම කළේ කපුගේ මහතා නිසා , එතුමා කල දේ බොහෝ දෙනා විවේචනය කළේ දැඩි කලකිරීමෙන් (ඕනෑම දෙයක් ඉස්සෙල්ලම කරන කෙනා බැනුම් අහන එක ලෝක ස්වභාවය නේ :) ). එතුමාගේ ගීතවලට ඇලුම් කරන වැඩි පිරිසක් ඒ සංගීත සංයෝජනයට අකමැති වුනේ කපුගේ මහතාගේ ගීතවල තියන මිහිරියාව සන්ෆ්ලවර් සංගීත සුසංයෝගයේ නැතිකමයි කියලයි මට නම් හිතෙන්නේ. කවුරු බැන්නත්, තමන් විවේචනය කලත්, තමන් කල දේ සාධාරණීකරණය කරන්න වත් ඒ බැනුම් වලට උත්තර බඳින්නවත් එතුමා ඉදිරිපත්වුනේ නෑ. තමන් කරන දේ හරි කියන එක තමන්ගේ හිතට එකඟ නම්, ඒ දේවල් හරි කියන එක තමන්ට විශ්වාස නම් අපි කරන දේවල් සාධාරණීකරණය කරන්න අමුතුවෙන් උත්සාහ කරන්න ඕන නෑ කියන එක එතුමා විශ්වාස කලා කියන එකට කිසිම සැකයක් නෑ.

පසු කලක ගුවන් විදුලි නාලිකාවක් සමඟ තිබුණ සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රගණ්‍ය නාට්‍යකරුවක් වන සුගතපාල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් විස්තරයක් කරලා තිබුණා. සුගතපාල ද සිල්වා මහතා රෝගාතුර වෙලා ඉන්න වෙලාවක, එතුමාගේ සැත්කමක් සඳහා සෑහෙන්න මුදලක් අවශ්‍ය වෙලා තිබුණාලු. ඒ මුදල් සොයාගන්න තමයි ගුණදාස කපුගේ කියන සොඳුරු මනුස්සය ඒ සා විශාල කැපකිරීමක් කරලා තිබුනේ කියල සුගතපාල ද සිල්වා මහතා හෙළි කරලා තිබුණා. තමන් ගැනවත් නොහිත, අනුන්ගේ දුකේදී පිහිට වෙලා, තමන්ට අහන්න ලැබෙන බැනුම් උපේක්ෂාවෙන් දරාගන්න මනුස්සයෙක්ට කොයිතරම් නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද?

සුවඳ මට දී ........

Posted by තිවංක | | Posted On Monday, February 7, 2011 at 1:51 PM

දහසකුත් එකක් වැඩසටහන් අතරේ "මියැසි තටාකය" කියන්නේ සිරස FM නාලිකාවෙන් කරන ඉතා හොඳ වැඩසටහනක්. බොහෝ දෙනා මේ වැඩසටහන රසවිඳිනවා කියල මම හිතනවා. ඉරිදා රෑට තමයි විකාශය වෙන්නේ. ඊයේ විකාශය වුනේ යමුනා මාලනී පෙරේරා මහත්මියගේ ගේය පදරචනා ගැන වැඩසටහනක් වෙන්න ඕන. මට සම්පූර්ණ වැඩසටහන අහන්න බැරි වුනා. මට අහන්න පුළුවන් වුනේ වැඩසටහනේ අන්තිම කොටස විතරයි. මුල ඉඳල අහන්න ලැබුන නම් කොච්චර හොඳයි ද කියල හිතුනේ එතකොටයි. එතුමියගේ පදරචනා එතරම්ම අලංකාරයි.

වැඩසටහනේ අවසාන ගීතය විදියට තෝරාගෙන තිබුනේ එක්තරා ගැමි තරුණයෙකුට සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක්. ඔහු ගොවිතැන් කරලා ජීවත්වන අහිංසක තරුණයෙක්. අගහිඟකම් නිසා කුඩා කාලෙම අධ්‍යාපනය අතරමග නවත්වල ගොවිතැන්, කුලීවැඩ ක‍රල තමයි ඔහු ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. ඒ තුලින් ඈ සරසවි වරම් ලබාගෙන තිබුනා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් ඇය අධ්‍යාපනයෙන් දියුණු වෙනවිට තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ගීතය ලියල තියෙන්නේ. මේ ගීතයේ එතුමිය "මා රැවටුවා මලවී" කියන වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා තියනවා. "මලවී (අනංගය)" කියන තේරුමත් , "මල වී (මලක් වී)" කියන තේරුමත් යන තේරුම් 2 ම එන්න තමයි මේ ගීතය එතුමිය ලියල තියෙන්නේ. ගීතය මෙතනින් අහල බලන්න.

මේ සිද්ධිය හා සමාන, එහෙත් මෙහි පෙම්වතිය කළ දේ හා සමාන දෙයක් කළ මගේ මිතුරෙක් සිටී. ඇය විදෙස්ගතව උසස් අධ්‍යාපනය හදාරන සමයේ ඔහුගේ අධ්‍යාපනය සඳහා පොත් පත් ඒවා ඔහුගේ අධ්‍යාපනයට උපකාර කලද , බොහෝ කලක් දුක සැප දෙකේදී තිබූ ඔවුන්ගේ ඇසුර ඔහු නිමා කලේ ඇය තම තත්වයට තරම් නොවේ යයි පවසමිනි. වෙනස නම්, මොවුන් දෙදෙනා ම පෙර කතාවේ මෙන් දිළිඳු නොවීමයි.

පාරටම ගෙවෙනවා නේද ?

Posted by තිවංක | | Posted On Thursday, February 3, 2011 at 11:31 AM

පහුගිය දවස්වල අපේ රටේ වාහන ආනයනික බද්ද සැහෙන්න ගානකින් අඩු කළා . අගය කරන්න ඕන දෙයක්. මොකද, අපේ ගොඩක් අයට ඒ වාසිය නිසා වාහනවල හිමිකරුවන් වෙන්න පුළුවන් වුනා. (මට නම් තාම බැරි වුනා. :D). ඒත්, මේ වාහන වැඩි වීම දරාගන්න අපේ රටේ තියන පාරවල් කොච්චරදුරට පොහොසත් ද කියන එක ටිකක් හිතල බලන්න ඕන දෙයක්. මොකද, අපේ රටේ තියන වාහන තොගය අපේ පාරවල් වලට දරාගන්න කොහොමත්ම බෑ . හැමදාම මාර්ග තදබද (මාර්ග තදබදයට අපේ අය වාහන පදවන විදියත් සැහෙන්න බලපානවා තමයි :) ). මේ හේතුවෙන් වෙන්නේ වාහන වල ගමන් කරන අයගේ වටිනා කාලයත්, ඉන්ධනවලට පිටරටට ඇදිලයන සල්ලි කන්දරාවකුත් නාස්තිවීමක්. පිටරටක වැඩකරන මගේ ඥාති සහෝදරයෙක් එක්ක දවසක් කතා කරන වෙලාවක එයා කියනවා, "මල්ලි, මගේ ඔෆිස් එක තියෙන්නේ ගෙදර ඉඳල කි.මී 25 ක් දුරින්. මට ගෙදර ඉඳල එතෙන්ට යන්න විනාඩි 6 යි යන්නේ" කියල.

රැකියා ස්ථාන මාරුව

Posted by තිවංක | | Posted On Thursday, January 27, 2011 at 6:01 PM

දිවා රෑ වෙහෙසී
දැන උගත් සිප් සතර
දේශපාලුවෙකුගේ
නොවටිනා අත්සනට
බාල්දු වන අරුම