ඔරු තරඟය

Posted by තිවංක | | Posted On Wednesday, March 9, 2011 at 1:47 PM

බොහොම ඉස්සර කාලේ ලංකාවයි ජපානෙයි අතරේ ඔරු තරඟයක් තිබුණා. කණ්ඩායම් දෙකෙන්ම හත් දෙනා බැගින් තරඟෙට සුදානම්. ජපානේ කණ්ඩායමේ හය දෙනෙක් ඔරුව පදවන්න යොදවල තිබුණා. එක් අයෙක් කණ්ඩායමේ නායකයා විදියට අනෙක් හය දෙනා මෙහෙයවීමට සැලසුම් කරලා තිබුණා. ලංකාවේ කණ්ඩායමේත් හත් දෙනෙක් හිටියට පොඩි වෙනසක් තිබුණා. ඔරුව පදවන්න කණ්ඩායමෙන් කෙනෙක් යොදවල තියන අතරේ අනෙක් හයදෙනා ඔහුට නායකත්වය දෙන්න සැදී පැහැදී හිටිය.

තරඟය ආරම්භ කළා. ඉහල කළමනාකරුවන් හයදෙනාගෙන් ඔරුව පදවන්නාට මනා උපදෙස් ලැබුණා. එදා දවසේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් එකකින් පරාද වුණා.

මේ පරාජය පිළිඹඳ හේතු හොයන්න කමිටුවක් පත් කළා. ඔරුව පදවපු කෙනාගේ උනන්දුව මදිකම පරාජයට හේතුව බව කමිටුවේ ඒකමතික තීරණය වුණා. කමිටුවේ විද්වත් මණ්ඩලය ඔහුට දැඩි සේ අවවාද කළා.

තරඟය ඊලඟ අවුරුද්දෙදිත් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අනුව කණ්ඩායම් දෙකම මැනවින් පුහුණුවීම් කළා. මේ වසරේ, ජපානේ කණ්ඩායම් සැලැස්මේ වෙනසක් නොවුනත්, ලංකාවේ කණ්ඩායමේ පොඩි වෙනසක් කරන්න කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කරලා තිබුණා. ඒ අනුව, එක් අයෙක් ඔරුව පැදවීමටත්, දෙදෙනෙක් ඔහුට උපදෙස් දීමටත්, තවත් දෙදෙනෙක් එම උපදේශකයන් දෙදෙනා කළමනාකරණය කිරීමටත්, ඉතිරි දෙදෙනා මුළු කණ්ඩායමේ නායකත්වයටත් පත් කරලා කණ්ඩායම සුදානම් කළා. කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ඔරුව පදවන්නාට ලැබෙන උපදෙස් සංවිධානත්මකයි.

ඒ අවුරුද්දෙත් තරඟය පැවැත්වුන. මනා කළමනාකාරීත්වයට පින්සිද්දවෙන්න ඒ අවුරුද්දේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් දෙකකින් පරාද වුණා. මේ වතාවේ නම් ඔරුව පදවන්නාට සමාවක් ලැබුනේ නෑ. ඔහුගේ උනන්දුව නැතිකමින් තරඟය පරාජය වීම හේතුවෙන් ඔහුව කණ්ඩායමෙන් නෙරපා හරිනු ලැබුවා.

අදහස්:

" ඔරු තරඟය" සඳහා අදහස් 2 කි

ඔබගේ අදහස .....