ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසා

Posted by තිවංක | | Posted On Friday, February 18, 2011 at 11:26 AM

ගුණදාස කපුගේ කියන්නේ බොහෝ දෙනෙක් එකසේ ගරු කරන විශිෂ්ට සංගීතඥයෙක් කියන එක අවිවාදාත්මකයි. එතුමාගේ ගීත ප්‍රිය නොකරන කෙනෙක් නැති තරම්. නමුත්, එතුමා මීට ටික කාලෙකට කලින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් එක්ක එතුමාගේ ගීත කීපයක් එළිදැක්වූවා. පසුව බොහෝ සංගීතඥයන් එතුමාව අනුකරණයකලත්, ඒ දේ ඉස්සෙල්ලම කළේ කපුගේ මහතා නිසා , එතුමා කල දේ බොහෝ දෙනා විවේචනය කළේ දැඩි කලකිරීමෙන් (ඕනෑම දෙයක් ඉස්සෙල්ලම කරන කෙනා බැනුම් අහන එක ලෝක ස්වභාවය නේ :) ). එතුමාගේ ගීතවලට ඇලුම් කරන වැඩි පිරිසක් ඒ සංගීත සංයෝජනයට අකමැති වුනේ කපුගේ මහතාගේ ගීතවල තියන මිහිරියාව සන්ෆ්ලවර් සංගීත සුසංයෝගයේ නැතිකමයි කියලයි මට නම් හිතෙන්නේ. කවුරු බැන්නත්, තමන් විවේචනය කලත්, තමන් කල දේ සාධාරණීකරණය කරන්න වත් ඒ බැනුම් වලට උත්තර බඳින්නවත් එතුමා ඉදිරිපත්වුනේ නෑ. තමන් කරන දේ හරි කියන එක තමන්ගේ හිතට එකඟ නම්, ඒ දේවල් හරි කියන එක තමන්ට විශ්වාස නම් අපි කරන දේවල් සාධාරණීකරණය කරන්න අමුතුවෙන් උත්සාහ කරන්න ඕන නෑ කියන එක එතුමා විශ්වාස කලා කියන එකට කිසිම සැකයක් නෑ.

පසු කලක ගුවන් විදුලි නාලිකාවක් සමඟ තිබුණ සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රගණ්‍ය නාට්‍යකරුවක් වන සුගතපාල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් විස්තරයක් කරලා තිබුණා. සුගතපාල ද සිල්වා මහතා රෝගාතුර වෙලා ඉන්න වෙලාවක, එතුමාගේ සැත්කමක් සඳහා සෑහෙන්න මුදලක් අවශ්‍ය වෙලා තිබුණාලු. ඒ මුදල් සොයාගන්න තමයි ගුණදාස කපුගේ කියන සොඳුරු මනුස්සය ඒ සා විශාල කැපකිරීමක් කරලා තිබුනේ කියල සුගතපාල ද සිල්වා මහතා හෙළි කරලා තිබුණා. තමන් ගැනවත් නොහිත, අනුන්ගේ දුකේදී පිහිට වෙලා, තමන්ට අහන්න ලැබෙන බැනුම් උපේක්ෂාවෙන් දරාගන්න මනුස්සයෙක්ට කොයිතරම් නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද?

සුවඳ මට දී ........

Posted by තිවංක | | Posted On Monday, February 7, 2011 at 1:51 PM

දහසකුත් එකක් වැඩසටහන් අතරේ "මියැසි තටාකය" කියන්නේ සිරස FM නාලිකාවෙන් කරන ඉතා හොඳ වැඩසටහනක්. බොහෝ දෙනා මේ වැඩසටහන රසවිඳිනවා කියල මම හිතනවා. ඉරිදා රෑට තමයි විකාශය වෙන්නේ. ඊයේ විකාශය වුනේ යමුනා මාලනී පෙරේරා මහත්මියගේ ගේය පදරචනා ගැන වැඩසටහනක් වෙන්න ඕන. මට සම්පූර්ණ වැඩසටහන අහන්න බැරි වුනා. මට අහන්න පුළුවන් වුනේ වැඩසටහනේ අන්තිම කොටස විතරයි. මුල ඉඳල අහන්න ලැබුන නම් කොච්චර හොඳයි ද කියල හිතුනේ එතකොටයි. එතුමියගේ පදරචනා එතරම්ම අලංකාරයි.

වැඩසටහනේ අවසාන ගීතය විදියට තෝරාගෙන තිබුනේ එක්තරා ගැමි තරුණයෙකුට සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක්. ඔහු ගොවිතැන් කරලා ජීවත්වන අහිංසක තරුණයෙක්. අගහිඟකම් නිසා කුඩා කාලෙම අධ්‍යාපනය අතරමග නවත්වල ගොවිතැන්, කුලීවැඩ ක‍රල තමයි ඔහු ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. ඒ තුලින් ඈ සරසවි වරම් ලබාගෙන තිබුනා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් ඇය අධ්‍යාපනයෙන් දියුණු වෙනවිට තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ගීතය ලියල තියෙන්නේ. මේ ගීතයේ එතුමිය "මා රැවටුවා මලවී" කියන වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා තියනවා. "මලවී (අනංගය)" කියන තේරුමත් , "මල වී (මලක් වී)" කියන තේරුමත් යන තේරුම් 2 ම එන්න තමයි මේ ගීතය එතුමිය ලියල තියෙන්නේ. ගීතය මෙතනින් අහල බලන්න.

මේ සිද්ධිය හා සමාන, එහෙත් මෙහි පෙම්වතිය කළ දේ හා සමාන දෙයක් කළ මගේ මිතුරෙක් සිටී. ඇය විදෙස්ගතව උසස් අධ්‍යාපනය හදාරන සමයේ ඔහුගේ අධ්‍යාපනය සඳහා පොත් පත් ඒවා ඔහුගේ අධ්‍යාපනයට උපකාර කලද , බොහෝ කලක් දුක සැප දෙකේදී තිබූ ඔවුන්ගේ ඇසුර ඔහු නිමා කලේ ඇය තම තත්වයට තරම් නොවේ යයි පවසමිනි. වෙනස නම්, මොවුන් දෙදෙනා ම පෙර කතාවේ මෙන් දිළිඳු නොවීමයි.

පාරටම ගෙවෙනවා නේද ?

Posted by තිවංක | | Posted On Thursday, February 3, 2011 at 11:31 AM

පහුගිය දවස්වල අපේ රටේ වාහන ආනයනික බද්ද සැහෙන්න ගානකින් අඩු කළා . අගය කරන්න ඕන දෙයක්. මොකද, අපේ ගොඩක් අයට ඒ වාසිය නිසා වාහනවල හිමිකරුවන් වෙන්න පුළුවන් වුනා. (මට නම් තාම බැරි වුනා. :D). ඒත්, මේ වාහන වැඩි වීම දරාගන්න අපේ රටේ තියන පාරවල් කොච්චරදුරට පොහොසත් ද කියන එක ටිකක් හිතල බලන්න ඕන දෙයක්. මොකද, අපේ රටේ තියන වාහන තොගය අපේ පාරවල් වලට දරාගන්න කොහොමත්ම බෑ . හැමදාම මාර්ග තදබද (මාර්ග තදබදයට අපේ අය වාහන පදවන විදියත් සැහෙන්න බලපානවා තමයි :) ). මේ හේතුවෙන් වෙන්නේ වාහන වල ගමන් කරන අයගේ වටිනා කාලයත්, ඉන්ධනවලට පිටරටට ඇදිලයන සල්ලි කන්දරාවකුත් නාස්තිවීමක්. පිටරටක වැඩකරන මගේ ඥාති සහෝදරයෙක් එක්ක දවසක් කතා කරන වෙලාවක එයා කියනවා, "මල්ලි, මගේ ඔෆිස් එක තියෙන්නේ ගෙදර ඉඳල කි.මී 25 ක් දුරින්. මට ගෙදර ඉඳල එතෙන්ට යන්න විනාඩි 6 යි යන්නේ" කියල.