මානසික සුවය

Posted by තිවංක | | Posted On Wednesday, December 15, 2010 at 3:42 PM

අපි කෙතරම් කාර්යබහුල වුනත්, ඒ කර්යබහුලබව පොඩ්ඩකට පැත්තකට තිව්වම (අමතක කලාම) හිතට ලැබෙන මානසික සහනය මෙපමණක් යැයි කියන්න බැරි තරම්. මානසික සහනය අපේ ජීවිතවලට අත්‍යවශ්‍යම දෙයක්. අද උදේ ඉඩක් ලැබුන නිසා ගංගාරාමයේ සීමාමාලකයට යන්න අවස්ථාවක් ලැබුණා (මීට කලින් එක දවසයි එතැනට ගිහින් තිබුනේ). කාර්යබහුල මාර්ගයක් අසල පිහිටලා තිබුනත් හරිම ලස්සන, නිස්කලංක තැනක්. එතැනට (එතැනට විතරක් නොවෙයි, ඕනෑම පන්සලකට) ගියාම මානසිකව ලැබෙන නිදහස, සහනය වචනයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි :-). ආගම දහමත් එක්ක මිනිස් ජීවිතය කොයිතරම් නම් බද්ධ විය යුතුද කියන එක අපිට පන්සලකට ගියාම හොඳාකාරවම අත්දකින්න පුළුවන් (අනෙක් ආගම්වල සිද්ධස්ථාන ගැන මම හරියටම දන්නේ නම් නෑ. ඒත් ඒ සිද්ධස්ථානත් එහෙම වෙන්න ඇති කියල මට හිතෙනවා).

රන් මීවිත පුරවා සුරතේ හොවා .........

Posted by තිවංක | | Posted On Thursday, November 18, 2010 at 10:33 AM

පසුගිය දිනක කාර්යාලයේ දිවා භෝජනය ගන්නා ස්ථානයේදී සිදු වූ සිද්ධියක් පළ කිරීමට සිත් වූයේ එහි අන්තර්ගතයේ ඇති සමාජමය වටිනාකම නිසාවෙන්මය.

"කවුද බං අර මම බොන ෆොටෝ facebook එකට දාපු බූරුවා?" මුxx ගේ කටහඬ ඉතා බලවත් ය.

සිදුවී අත්තේ ඔවුන් පසුගිය දා සහභාගී වූ විවාහ මංගල සාදයකදී මුxx මධුවිත පානය කරන ඡායාරූපයක් ඔහුගේ මිතුරෙකු විසින් facebook සමාජ ජාලයේ පළකිරීමත්, එය මුxxගේ සහෝදරිය දැකීමත් යි. ඒ පිළිබඳ මුxxගේ සහෝදරිය ඔහුගෙන් විමසා ඇත. ඔහු ඉන් මහත් අපහසුතාවයට පත් වී ඇති බව ඔහුගේ කතාවෙන් තහවුරු විය.

එම වාග් මාලාවට පිළිවදන් සැපයූයේ සxxx ය.

"ඔච්චරම තමන්ට අවනම්බු නම්, අපහසුතාවයට පත්වෙනවා නම් ඇයි ඔයා බොන්නේ? තමන් කරන දේවල් හොර රහසේ නැතිව එළිපිට කොන්දක් ඇතිව කරන්න තමන් ආත්ම ශක්තිය තියෙන්න ඕන. එහෙම නැත්නම්, තමන් ඒ දේවල් වලින් අපහසුතාවයට පත්වෙනවා නම්, ඒවා නොකර ඉන්න තමන් දැනගන්න ඕන. බොන වෙලාවට ලොක්කෝ වගේ බීල, ඒ වෙලාවට ඕන දෙයක් කරලා, වෙරි හිඳුනම තමන්ට වෙච්ච දේවල් ගැන පසු තැවිල වැඩක් නෑ. ඒවා නොවෙන්න තමන් වග බලාගන්න ඕන. ඒවා හොඳ නැත්නම් නොකර ඉන්න ඕන. ඒවායේ ආදීනව දන්නා නිසා තමයි අපි නොබී දේවල් නොකර ඉන්නේ."

සxxx ගේ පිළිතුර තුල ඔබට සිතන්නට කෙතරම් නම් දෙයක් ගැබ් වී ඇත්ද ?

අනෙකාගේ අයිතිය දියේ ගිලීම

Posted by තිවංක | | Posted On Friday, November 5, 2010 at 4:34 PM

අප සියලුදෙනා ම ඍජුව ම මහාමාර්ග භාවිත කරන්නන්. එහෙත් මහමර්ගයකදී අනෙකාගේ අයිතියට ගරු කරන්නේ කීයෙන් කී දෙනාද ? මේ දිනවල නිතර අපට වර්ෂාව අත්දකින්න පුළුවන් දෙයක්. එහෙම වෙලාවට විශේෂයෙන්ම ඔබ භාවිතා කරන්නේ මෝටර් රථයක් වැනි සංවෘත වාහනයක් නම් අනිවාර්යයෙන්ම මේ දේ ගැන ඔබ අවදානයට ලක් කල යුතු වෙනවා. මාර්ගය භාවිතා කරන අනෙකා පදිකයෙක්, පාපැදියක් හෝ මෝටර් බයිසිකලයක් නම්, තමන් නොතෙමීගියත් ඔවුන් වර්ෂාවෙන් (ඔබට වඩා) පීඩා විඳින පිරිසක් බව සිහිතබාගෙන යාම වඩාත් මානුෂිකයි නේද ? මෙහෙම ලියන්න හිතුනේ පෞද්ගලිකවම මේ දේ අත්දකින්න සිදුවුණා නිසා.

සුවිශේෂී පදරචනා

Posted by තිවංක | | Posted On Wednesday, November 3, 2010 at 8:48 AM

ගීත රසවිඳීමට අකමැති කෙනෙක් අප අතර නොමැති තරම් ය. අද කාලයේ බිහිවන ගීත කෙසේ වෙතත් පැරණි ගීත ඇසීමට බොහෝ දෙනා ප්‍රිය කරති. ගීතයක් වූකලී පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වයේ සංකලනයකි. මේ ත්‍රිත්වයේ මනා සංකලනයෙන් විශිෂ්ට නිර්මාණ බිහි වේ. මින් පද රචනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ ගීත රචකයන් ගීත විශාල ප්‍රමාණයක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් ජනප්‍රිය ගීත වේ. නමුත් සමහර ගීත රචකයන් රචනා කර ඇත්තේ එක ගීතයක් හෝ දෙකක් පමණි. එහෙත් එම ගීත අප අතර සදා අමරණීය වේ.

සිරිල් සමරකෝන් මහතා ලංගම බස් කොන්දොස්තරවරයෙක් ලෙස සේවයේ යෙදෙන අතර, මහමඟ දුටු දර්ශනයක් පාදක කරගනිමින් ඔහු අතින් ලියවුනු "කැරකෙන රෝදේ පුංචි කරත්තේ" ගීතය මේ සඳහා කදිම උදාහරණයකි. මෙම ගීතය සංගීතවත් කරනු ලැබුවේ කලණි පෙරේරා මහතා විසිනි. මෙම ගීතය පෞද්ගලිකවම මා ඉතා ඇලුම්කරන ගීතයකි. මා කුඩා කල මාගේ ආදරණීය පියා විසින් මා නැළවීමට මේ ගීතය ගායනා කල බව මගේ මව දිනක් මා සමඟ පැවසූවාය. එම සිද්ධියත් සමඟ මේ ගීතයට මාගේ ඇති කැමැත්ත දෙගුණ තෙගුණ වූ අතර එම ගීතය මා රසවිඳින සෑම අවස්ථාවකදී ම මාගේ ආදරණීය පියා ගැන මට ඇතිවන්නේ අප්‍රමාණ සෙනෙහසකි. දෙහිඕවිට සරත් ආනන්ද ඩිරෙක්ස් මහතා රචනා කල "නෙතු දැහැන් බිඳී හද විමන් වඩී" ගීතයද තවත් උදාහරණයකි. මෙහි සංගීතයද කලණි පෙරේරා මහතාගේ වන අතර මෙම ගීත දෙකෙහිම ගායකයා විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාය.

පවුලක් තුල සිදුවන ඉතා කුඩා සිද්දියක් මුල් කරගනිමින් උදය චාමරසිංහ මහතා රචනා කළ "රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා" ගීතය මේ සඳහා තවත් උදාහරණයකි. දයාරත්න රණතුංගයන් ගයනා කරන, "ගී කියන්න මට කීවේ ඔබේ නෙතයි" ගීතය රචනා කළේ ගාමිණී ලේල්වල මහතා ය. "සරසවියේදී හෙට විතරයි හමුවන්නේ" ගීතය සිරිසමන් විජේතුංග මහතාගේ රචනයකි.

දුන්හිඳ අල්ල නරඹා පැමිණෙන නරඹන්නන් පවසා නිවා ගැනීමට අතර මඟ දී බෙලිමල් පානය කරති. නමුත් ඔවුන් එම වෙළඳුන්ට වංචා කොට මුදල් අඩුවෙන් දී යයි. මෙම සිද්දිය පාදක කර ගනිමින් රුචිර පරණවිතාන මහතා "බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න" ගීතය රචනා කල අතර ඔහු නැවතත් ගීත රචනා කර නොමැත.

කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන "ගිනිමලක් පිපුනාය දොරකොඩ වරක් නොව තව වතාවක්" ගීතය ධම්ම දිසානායක හා කීර්ති ආරියදාස යන කථිකාචාර්යවරුන් ගේ පද රචනයකි.

සනත් නන්දසිරි මහතා ගයනා කරන "එදා මෙදා තුර කඳුලට විවරවූ දෑස් පියන් පත් කවුළු වසා" ගීතය රචනා කලේ විමල් ජයශාන්ත මහතාය. මා දන්නා තරමින් මෙම ගීතය ඒ මහතාගේ සත්‍ය අත්දැකීමක් වන අතර, තම ආදරවන්තියගේ හදිස්සි වියෝව දරාගැනීම කෙතරම් නම් අපහසුදැයි එම ගීතයෙන් එතුමා සංවේදීව පවසා ඇත. එම ගීතයෙන් පසු එතුමා ගීත රචනා කර නොමැත.

ගීතයක් සඳහා පදරචනය කෙතරම් සුවිශේෂී ද යන්න සඳහා මේ උදාහරණ කීපයක් පමණි. ඒ සඳහා පුද්ගලයෙක් රචනා කල ගීත ප්‍රමාණය නොව එහි ගුණාත්මකභාවය පමණක් ම නොසෑහෙන්නේද ?

රෝදය ......

Posted by තිවංක | | Posted On Monday, October 25, 2010 at 10:32 PM

දවස නිමවී කාර්යාලයෙන් නිවෙස බල යාමට සැරසුනද, බයිසිකලයේ ඉදිරිපස රෝදයේ හුලං නැත. හ්ම්ම් ... දැන් ඉතින් මොනවා කරන්නද? ටයර් කඩයක් හොයන එක එච්චර ලේසි නැතිවුනත් බයිසිකලය තල්ලු කරගෙනම ටික දුරක් අවිද ගියෙමි .

"මේ හරියේ ටයර් කඩයක් තියනවද ?"

නවතා තිබූ තුන් රෝද රථයක් අසලට ගිය මම, මාගේ හඬ අවදි කළේය. අප ඔවුන්ගේ වාහන පැදවීම ගැන කෙතරම් දොස් කීවද, පාරක් දැනගැනීමටත් , යම්කිසි ස්ථානයක් දැනගැනීමටත් නිතැතින් තුන් රෝද රථයක් වෙත පිය නැගීම කෙතරම් දෛවෝපගතද ?

"එහා හන්දියේ තියනවා."

ඔහු මට ඈත තිබෙන කඩයක් පෙන්විය. එම වදන් මට මහත් අස්වැසිල්ලක් විය.ඔහුට ස්තූති කළ මම නැවත ගමන ඇරඹීමි. තරමක කඩයක් බලාපොරොත්තු වූ මම නතර වූයේ ගෙවල් පේලියක එක් නිවසක් ඉදිරිපසය. ටයර් කඩය වූයේ ඔවුන්ගේ නිවසේ ඉස්තොප්පුවය. ඉතා කුඩා නිවසක් වූ එහි එදා වේල පිරිමහගන්නේ මේ කුඩා ටයර් කඩයෙනි. කඩහිමියා කඩිනමින් දෝෂය සොයා එය කඩය තුලට දී තවත් රෝදයක් ගලවන්නට විය. එහි ඉතිරි පිළියම් සිදු කරන්නේ ඔහුගේ බිරිඳය.

"මම පන්සලට ගිහින් එන්නම්."

තම කාර්යය අවසන් කළ ඇය සැමියා ඇමතීය.

"ඇයි ඒ ? අජිත් කියපු කාරණාවට ද ?"

සැමියා නෝක්කාඩුවට මෙන් ඇසීය.

"ඔය රැස්වීම් වලට යන්න ඕන නෑ. මෙන්න මේ තියන වැඩක් බලාගෙන ඉන්න."

එවර හඬ අණදීමකි.

"නොගිහින් හිටිය වගේ නෙවෙයි. අන්තිමට ඉන්න තැනත් නැති වේවි."

ඉතා කුඩා ගෙවල් පේලියක තවත් එක් කුඩා නිවසක් වූ එහි අයිතිය රැක ගැනීමට ඇය පිටත් වූ අතර සැමියා එදාවේල රැක ගැනීමට තවත් රෝදයක් පිළිසකර කිරීම ඇරඹීය.

ඔබ සිටිනා තැන ....

Posted by තිවංක | | Posted On Thursday, October 21, 2010 at 10:08 AM

දැනුම, හැකියාවන්,දක්ෂතාවයන් සහ පලපුරුද්ද ඵලදායී ලෙස යොදාගැනීමටත් එයින් මානසික තෘප්තියක් ළඟාකරගැනීමටත් හැකි වන්නේ ඔබ සිටිනා තැන නිවැරදි නම් පමණක්යැයි කියමනක් මා අසා ඇත.

මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකම

Posted by තිවංක | | Posted On Monday, October 18, 2010 at 3:01 PM

ඕනෑම රටක මාර්ග නීති පද්දතියක් පිහිටුවාගෙන තියනවා. එහි අවශ්‍යතාවය අවිවාදාත්මකයි. ඈත අතීතයේ නොතිබුනත්, රථ වාහන පැමිණීමත් සමඟ මාර්ග නීති පද්දතියේ අවශ්‍යතාවය අපිට තදින්ම දැනෙනවා.

මේ මාර්ග නීති මොනතරම් නම් තර්කානුකූලද කියල ටිකක් කල්පනා කරලා බලනකොට ඕනෑම කෙනෙක්ට වැටහෙනව.

දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න

පොඩිකාලේ අපිට පාසලේදී මෙහෙම උගන්වන්නේ, අපේ ආරක්ෂාවත් රියදුරන්ගේ පහසුවත් රැකගෙන පාර මාරු වෙනයි. පදිකයන් භාවිතා කල යුත්තේ පාරේ දකුණු පසත්, රථවාහන භාවිතා කල යුත්තේ පාරේ වම් පසත් යන්න තුල, පදිකයා හා රියැදුරා කෙතරම් නම් සුරක්ෂිතද ?

නමුත් මේවා දැන් ඉන්න ළමා පරපුර පිළිපදිනවද කියන එකත් ප්‍රශ්නයක්. ළමා පරපුරට ආදර්ශයක් වීමට අඩුම තරමින් වැඩිහිටි පරපුර වත් මාර්ග නීති පිළිපැදිය යුතුයි. කෙතරම් පදික මාරු තිබුනත්, මින්ස්සු තමන්ට හිතෙන හිතෙන තැන් වලින් පාර මාරු වෙනවා. හොඳම උදාහරණය බොරැල්ල මංසන්දියේ ඇති උමං පදික මාරුව. විශාල මුදලක් වියදම් කරලා පදිකයන්ගේ ආරක්ෂාවත්, රියදුරන්ගේ පහසුවත් තකා ඉදිකරලා තියන මේ උමං මාර්ගය භාවිතා නොකර, සමහර මිනිස්සු ප්‍රධාන මාර්ගයෙන්ම පාර මාරු වෙනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතුව පදිකයන් විදියට පාරේ ගමන් කරලා අන්තිමට අනතුරක් වුනාම ගොඩක් වෙලාවට එකේ වරද පැටවෙන්නේ වාහනයක රියදුරාට. අනිත් අතට සමහර රියදුරන් පදික මරුවකදීවත් තමන්ගේ වාහනයේ ධාවන වේගය අඩු කරන්නවත්, නවත්වන්නවත් අකමැතියි . ලඟදි දවසක පදික මාරුවකින් මාරුවෙන පදිකයන් පිරිසකට, මොටර් රථයක් ධාවනය කරගෙන ආපු නෝනා කෙනෙක් එයාගේ ගමන මදකට නවත්වල පදිකයන්ට පාර මාරු වෙන්න ඉඩ දෙන්න වුනා කියල අත දික්කරලා පදිකයන්ට බනිනවා මම දැක්ක. තමන්ගේ අයිතිය පාවිච්චි කරන්නවත් පදිකයන්ට නිදහස නැති හැටි. අනෙක් මිනීසෙකුට ගරු කිරීමට බැරි සමාජයක් බිහිවෙන අපූරුව.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ලිඛිත පරීක්ෂණයක් දැන් පවත්වනවා. එහිදී පුළුල් ලෙස, රියදුරෙක් පදිකයන් ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන කාරණය සලකා බැලෙනවා. නමුත් බොහෝ දෙනා මාර්ග නීති ගැන උනන්දු වෙන්නේ රියදුරු බලපත්‍රය ලබගන්න තෙක් පමණයි. ඊටපස්සේ තමන් පමණක් පාරේ යන්නේ කියන මානසිකත්වයෙන්ම පාරේ යනවා. දැන් තියන රියදුරු පුහුණු ආයතනත් මේ තත්වයට සැහෙන්න වග කියන්න ඕන. සල්ලි අරගෙන කෙසේ හෝ රිය බලපත්‍රය ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා. එක අතකට, මුදල් පසුපස හඹායන ලෝකයක මනුස්සකම මුදලට යටවීම පුදුමයකුත් නෙවෙයි .

පිවිසුම.........

Posted by තිවංක | | Posted On Wednesday, October 6, 2010 at 2:56 PM

ජීවිතේ බොහෝ අවස්ථාවල හිතට දැනෙන දේවල් ලියන්න මගේම කියල බ්ලොග් එකක් තිබුන නම් කොච්චර හොඳයි ද කියල හිතුන වාර අනන්තයි. සමහර වෙලාවට හිතෙන දේවල් ලියන්න දින පොතේ ඉඩ මදි වෙනවා. එත්.... මොකක්හරි හේතුවකින් ඒක කල් ගියා. කොහොමහරි අන්තිමේදී අත්හදා බැලීමක් විදියට මට බ්ලොග් එකක් හදන්න සිද්ද වුනා. අත්හදා බැලීමත් සාර්ථකයි. අන්තිමට මම මගේම බ්ලොග් එකක් පටන් ගත්ත.