සුවිශේෂී පදරචනා

Posted by තිවංක | | Posted On Wednesday, November 3, 2010 at 8:48 AM

ගීත රසවිඳීමට අකමැති කෙනෙක් අප අතර නොමැති තරම් ය. අද කාලයේ බිහිවන ගීත කෙසේ වෙතත් පැරණි ගීත ඇසීමට බොහෝ දෙනා ප්‍රිය කරති. ගීතයක් වූකලී පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වයේ සංකලනයකි. මේ ත්‍රිත්වයේ මනා සංකලනයෙන් විශිෂ්ට නිර්මාණ බිහි වේ. මින් පද රචනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ ගීත රචකයන් ගීත විශාල ප්‍රමාණයක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් ජනප්‍රිය ගීත වේ. නමුත් සමහර ගීත රචකයන් රචනා කර ඇත්තේ එක ගීතයක් හෝ දෙකක් පමණි. එහෙත් එම ගීත අප අතර සදා අමරණීය වේ.

සිරිල් සමරකෝන් මහතා ලංගම බස් කොන්දොස්තරවරයෙක් ලෙස සේවයේ යෙදෙන අතර, මහමඟ දුටු දර්ශනයක් පාදක කරගනිමින් ඔහු අතින් ලියවුනු "කැරකෙන රෝදේ පුංචි කරත්තේ" ගීතය මේ සඳහා කදිම උදාහරණයකි. මෙම ගීතය සංගීතවත් කරනු ලැබුවේ කලණි පෙරේරා මහතා විසිනි. මෙම ගීතය පෞද්ගලිකවම මා ඉතා ඇලුම්කරන ගීතයකි. මා කුඩා කල මාගේ ආදරණීය පියා විසින් මා නැළවීමට මේ ගීතය ගායනා කල බව මගේ මව දිනක් මා සමඟ පැවසූවාය. එම සිද්ධියත් සමඟ මේ ගීතයට මාගේ ඇති කැමැත්ත දෙගුණ තෙගුණ වූ අතර එම ගීතය මා රසවිඳින සෑම අවස්ථාවකදී ම මාගේ ආදරණීය පියා ගැන මට ඇතිවන්නේ අප්‍රමාණ සෙනෙහසකි. දෙහිඕවිට සරත් ආනන්ද ඩිරෙක්ස් මහතා රචනා කල "නෙතු දැහැන් බිඳී හද විමන් වඩී" ගීතයද තවත් උදාහරණයකි. මෙහි සංගීතයද කලණි පෙරේරා මහතාගේ වන අතර මෙම ගීත දෙකෙහිම ගායකයා විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාය.

පවුලක් තුල සිදුවන ඉතා කුඩා සිද්දියක් මුල් කරගනිමින් උදය චාමරසිංහ මහතා රචනා කළ "රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා" ගීතය මේ සඳහා තවත් උදාහරණයකි. දයාරත්න රණතුංගයන් ගයනා කරන, "ගී කියන්න මට කීවේ ඔබේ නෙතයි" ගීතය රචනා කළේ ගාමිණී ලේල්වල මහතා ය. "සරසවියේදී හෙට විතරයි හමුවන්නේ" ගීතය සිරිසමන් විජේතුංග මහතාගේ රචනයකි.

දුන්හිඳ අල්ල නරඹා පැමිණෙන නරඹන්නන් පවසා නිවා ගැනීමට අතර මඟ දී බෙලිමල් පානය කරති. නමුත් ඔවුන් එම වෙළඳුන්ට වංචා කොට මුදල් අඩුවෙන් දී යයි. මෙම සිද්දිය පාදක කර ගනිමින් රුචිර පරණවිතාන මහතා "බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න" ගීතය රචනා කල අතර ඔහු නැවතත් ගීත රචනා කර නොමැත.

කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන "ගිනිමලක් පිපුනාය දොරකොඩ වරක් නොව තව වතාවක්" ගීතය ධම්ම දිසානායක හා කීර්ති ආරියදාස යන කථිකාචාර්යවරුන් ගේ පද රචනයකි.

සනත් නන්දසිරි මහතා ගයනා කරන "එදා මෙදා තුර කඳුලට විවරවූ දෑස් පියන් පත් කවුළු වසා" ගීතය රචනා කලේ විමල් ජයශාන්ත මහතාය. මා දන්නා තරමින් මෙම ගීතය ඒ මහතාගේ සත්‍ය අත්දැකීමක් වන අතර, තම ආදරවන්තියගේ හදිස්සි වියෝව දරාගැනීම කෙතරම් නම් අපහසුදැයි එම ගීතයෙන් එතුමා සංවේදීව පවසා ඇත. එම ගීතයෙන් පසු එතුමා ගීත රචනා කර නොමැත.

ගීතයක් සඳහා පදරචනය කෙතරම් සුවිශේෂී ද යන්න සඳහා මේ උදාහරණ කීපයක් පමණි. ඒ සඳහා පුද්ගලයෙක් රචනා කල ගීත ප්‍රමාණය නොව එහි ගුණාත්මකභාවය පමණක් ම නොසෑහෙන්නේද ?

අදහස්:

" සුවිශේෂී පදරචනා" සඳහා අදහස් 2 කි

ඔබගේ අදහස .....