රෝදය ......

Posted by තිවංක | | Posted On Monday, October 25, 2010 at 10:32 PM

දවස නිමවී කාර්යාලයෙන් නිවෙස බල යාමට සැරසුනද, බයිසිකලයේ ඉදිරිපස රෝදයේ හුලං නැත. හ්ම්ම් ... දැන් ඉතින් මොනවා කරන්නද? ටයර් කඩයක් හොයන එක එච්චර ලේසි නැතිවුනත් බයිසිකලය තල්ලු කරගෙනම ටික දුරක් අවිද ගියෙමි .

"මේ හරියේ ටයර් කඩයක් තියනවද ?"

නවතා තිබූ තුන් රෝද රථයක් අසලට ගිය මම, මාගේ හඬ අවදි කළේය. අප ඔවුන්ගේ වාහන පැදවීම ගැන කෙතරම් දොස් කීවද, පාරක් දැනගැනීමටත් , යම්කිසි ස්ථානයක් දැනගැනීමටත් නිතැතින් තුන් රෝද රථයක් වෙත පිය නැගීම කෙතරම් දෛවෝපගතද ?

"එහා හන්දියේ තියනවා."

ඔහු මට ඈත තිබෙන කඩයක් පෙන්විය. එම වදන් මට මහත් අස්වැසිල්ලක් විය.ඔහුට ස්තූති කළ මම නැවත ගමන ඇරඹීමි. තරමක කඩයක් බලාපොරොත්තු වූ මම නතර වූයේ ගෙවල් පේලියක එක් නිවසක් ඉදිරිපසය. ටයර් කඩය වූයේ ඔවුන්ගේ නිවසේ ඉස්තොප්පුවය. ඉතා කුඩා නිවසක් වූ එහි එදා වේල පිරිමහගන්නේ මේ කුඩා ටයර් කඩයෙනි. කඩහිමියා කඩිනමින් දෝෂය සොයා එය කඩය තුලට දී තවත් රෝදයක් ගලවන්නට විය. එහි ඉතිරි පිළියම් සිදු කරන්නේ ඔහුගේ බිරිඳය.

"මම පන්සලට ගිහින් එන්නම්."

තම කාර්යය අවසන් කළ ඇය සැමියා ඇමතීය.

"ඇයි ඒ ? අජිත් කියපු කාරණාවට ද ?"

සැමියා නෝක්කාඩුවට මෙන් ඇසීය.

"ඔය රැස්වීම් වලට යන්න ඕන නෑ. මෙන්න මේ තියන වැඩක් බලාගෙන ඉන්න."

එවර හඬ අණදීමකි.

"නොගිහින් හිටිය වගේ නෙවෙයි. අන්තිමට ඉන්න තැනත් නැති වේවි."

ඉතා කුඩා ගෙවල් පේලියක තවත් එක් කුඩා නිවසක් වූ එහි අයිතිය රැක ගැනීමට ඇය පිටත් වූ අතර සැමියා එදාවේල රැක ගැනීමට තවත් රෝදයක් පිළිසකර කිරීම ඇරඹීය.

අදහස්:

" රෝදය ......" සඳහා අදහස් 2 කි

ඔබගේ අදහස .....