මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකම

Posted by තිවංක | | Posted On Monday, October 18, 2010 at 3:01 PM

ඕනෑම රටක මාර්ග නීති පද්දතියක් පිහිටුවාගෙන තියනවා. එහි අවශ්‍යතාවය අවිවාදාත්මකයි. ඈත අතීතයේ නොතිබුනත්, රථ වාහන පැමිණීමත් සමඟ මාර්ග නීති පද්දතියේ අවශ්‍යතාවය අපිට තදින්ම දැනෙනවා.

මේ මාර්ග නීති මොනතරම් නම් තර්කානුකූලද කියල ටිකක් කල්පනා කරලා බලනකොට ඕනෑම කෙනෙක්ට වැටහෙනව.

දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න

පොඩිකාලේ අපිට පාසලේදී මෙහෙම උගන්වන්නේ, අපේ ආරක්ෂාවත් රියදුරන්ගේ පහසුවත් රැකගෙන පාර මාරු වෙනයි. පදිකයන් භාවිතා කල යුත්තේ පාරේ දකුණු පසත්, රථවාහන භාවිතා කල යුත්තේ පාරේ වම් පසත් යන්න තුල, පදිකයා හා රියැදුරා කෙතරම් නම් සුරක්ෂිතද ?

නමුත් මේවා දැන් ඉන්න ළමා පරපුර පිළිපදිනවද කියන එකත් ප්‍රශ්නයක්. ළමා පරපුරට ආදර්ශයක් වීමට අඩුම තරමින් වැඩිහිටි පරපුර වත් මාර්ග නීති පිළිපැදිය යුතුයි. කෙතරම් පදික මාරු තිබුනත්, මින්ස්සු තමන්ට හිතෙන හිතෙන තැන් වලින් පාර මාරු වෙනවා. හොඳම උදාහරණය බොරැල්ල මංසන්දියේ ඇති උමං පදික මාරුව. විශාල මුදලක් වියදම් කරලා පදිකයන්ගේ ආරක්ෂාවත්, රියදුරන්ගේ පහසුවත් තකා ඉදිකරලා තියන මේ උමං මාර්ගය භාවිතා නොකර, සමහර මිනිස්සු ප්‍රධාන මාර්ගයෙන්ම පාර මාරු වෙනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතුව පදිකයන් විදියට පාරේ ගමන් කරලා අන්තිමට අනතුරක් වුනාම ගොඩක් වෙලාවට එකේ වරද පැටවෙන්නේ වාහනයක රියදුරාට. අනිත් අතට සමහර රියදුරන් පදික මරුවකදීවත් තමන්ගේ වාහනයේ ධාවන වේගය අඩු කරන්නවත්, නවත්වන්නවත් අකමැතියි . ලඟදි දවසක පදික මාරුවකින් මාරුවෙන පදිකයන් පිරිසකට, මොටර් රථයක් ධාවනය කරගෙන ආපු නෝනා කෙනෙක් එයාගේ ගමන මදකට නවත්වල පදිකයන්ට පාර මාරු වෙන්න ඉඩ දෙන්න වුනා කියල අත දික්කරලා පදිකයන්ට බනිනවා මම දැක්ක. තමන්ගේ අයිතිය පාවිච්චි කරන්නවත් පදිකයන්ට නිදහස නැති හැටි. අනෙක් මිනීසෙකුට ගරු කිරීමට බැරි සමාජයක් බිහිවෙන අපූරුව.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ලිඛිත පරීක්ෂණයක් දැන් පවත්වනවා. එහිදී පුළුල් ලෙස, රියදුරෙක් පදිකයන් ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන කාරණය සලකා බැලෙනවා. නමුත් බොහෝ දෙනා මාර්ග නීති ගැන උනන්දු වෙන්නේ රියදුරු බලපත්‍රය ලබගන්න තෙක් පමණයි. ඊටපස්සේ තමන් පමණක් පාරේ යන්නේ කියන මානසිකත්වයෙන්ම පාරේ යනවා. දැන් තියන රියදුරු පුහුණු ආයතනත් මේ තත්වයට සැහෙන්න වග කියන්න ඕන. සල්ලි අරගෙන කෙසේ හෝ රිය බලපත්‍රය ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා. එක අතකට, මුදල් පසුපස හඹායන ලෝකයක මනුස්සකම මුදලට යටවීම පුදුමයකුත් නෙවෙයි .

අදහස්:

" මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකම" සඳහා අදහස් 9 කි

ඔබගේ අදහස .....